සිදුහත් තවුසා ගෞතම නමින් බුද්ධත්වයට පත් වූයේ හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාමයේ බව ප්‍රකාශ කරන කොළඹින් පැමිණි පිරිසක් සහ හිරිවඩුන්න දායක සභාවේ ප්‍රදේශවාසීන් අතර පසුගිය 08 වැනිදා ඇති වූ උණුසුම්කාරී  තත්ත්වය නිසා ගම්මුන්ගේ හූ හඬ මැද යළි පිටත්ව යෑමට ඔවුන්ට සිදුවිය. සංස්කෘතික රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සමග පැමිණි බව කියන මෙම පිරිස එම ස්ථානයේ පැරණි ඡායාරූප සහ ග්‍රන්ථ කිහිපයක් පෙන්වමින් එම ස්ථානයේ ඇති ඓතිහාසිකත්වය පෙන්වා දුන්හ. අමාත්‍යවරයා පැමිණෙන අවස්ථාව වන විට පුරාවිද්‍යා නිලධාරි කණ්ඩයාමක් ද එම ස්ථානයේ රැඳී සිටි අතර මෙවැනි පිරිසක් පැමිණෙන බව තමා නොදැන සිටි බව විහාරාධිපති බොරලැස්ගමුවේ සුමේධ හිමියෝ කීහ.  විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා එහි සිටි පුරාවිද්‍යා නිලධාරින් අමතා මෙම ස්ථානයේ ඓතිහාසිකත්වය සහ මෙම ස්ථාන වෙනස් කළේ ද යන ප්‍රශ්න කරන්නට විය.


එහිදී පුරාවිද්‍යා නිලධාරින් මෙන්ම අමාත්‍යවරයා සමඟ පැමිණ සිටි පිරිස ද විවිධ දේ කියන්නට වූහ. අමාත්‍යවරයා 
දැඩි ස්වරයෙන් පුරාවිද්‍යා නිලධාරින්ට කියා සිටියේ තමා සමඟ සෙල්ලම් කිරීමට නොහැකි බවය.  පසුව මෙම ස්ථානයට පලුගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී හබරණ ටැම්පිට රාජමහා විහාරාධිපති ආචාර්ය බෝගස්වැවේ විපස්සි හිමියෝ පැමිණ මෙහි පවතින ගැටලුව වන මෙම කණ්ඩායම බුදු රජාණන් වහන්සේ මෙරට මෙම  ස්ථානයේ ඉපදුණ බවට ඔප්පු කිරීම සඳහා උත්සාහයක නිරත වන බව ද එය කිසිසේත්තේ විශ්වාස කළ හැකි ලේඛනයකින් ඔප්පු කර නැති බව ද දැඩිව කියන්නට වූහ.


එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද කියා සිටියේ බුදුරජාණන් වහන්සේ මෙරට ඉපදුණ බවට තමා ද පිළිගැනීමක් නොමැති බවය.  අමාත්‍යවරයා සහ පිරිස අතර කතාබහ ඇතිවෙද්දි දායක සභාවේ සහ අවට ගම්මුන් දැඩි ලෙස කලබල තත්ත්වයට පත්ව කෑකෝ ගසන්නට වූයේ අමාත්‍යවරයා සමග පැමිණි කණ්ඩායම දැඩි ලෙස මෙම මතය පැතිරිම සඳහා උත්සාහයක් දරන බවත් තම ස්වාමින් වහන්සේට දැඩි තර්ජන එල්ල කරන බවත් පවසමිනි.


එම නිසා කිසිදු ආකාරයකින් වැරදි මතවලට ඉඩ ලබා නොදෙන බව ද ඔවුහු අමාත්‍යවරයා ඉදිරියේ කෑ ගසන්නට වූහ.  අමාත්‍යවරයා විහාරාධිපති බොරලැස්ගමුවේ සුමේධ හිමියන් සහ පලුගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි හබරණ ටැම්පිට රාජ මහා විහාරාධිපති බෝගස්වැව විපස්සි හිමියන් සමග ආවාස ගෙට ගොස් සාකච්ඡාවක් ආරම්භ කරන්න විය.



එම අවස්ථාවට පිටස්තර පිරිස් ඉවත් කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පමණක් ආවාස ගෙට ගෙන සාකචිඡාවට සහභාගි කරවාගනු දක්නට ලැබිණි.  එහිදී විහාරාධිපති හිමියෝ හා සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරි හිමියෝ දැනට පවතින බරපතළ තත්වය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කරන්නට වූහ. නිලධාරීන්ට මෙම බරපතළ ප්‍රශ්නය පිළිබඳව දැනුම්වත් කළ ද මෙතෙක් කිසිදු පිළිතුරක් නොමැති බවට කණ්ඩායම් සෑම අවස්ථාවකම විහාරස්ථානයට පැමිණ විවිධ ඡායාරූප ලබාගෙන අන්තර්ජාලය හරහා මෙම කතිකාව ජනගත කිරීමට උත්සාහ කරන බව ද විහාරාධිපති හිමියෝ චෝදනා කරන්නට වූහ.


මෙහිදී අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරීන්ට දැනුම් දී සිටියේ හබරණ හිරිවඩුන්න බෝධිරාජ ආරණ්‍ය  සේනාසනයේ පිහිටි භූමිය පුරාවිද්‍යා වටිනාකම කුමක් දැයි වහා පරික්ෂණ කටයුතු ආරම්භ කරන ලෙසත් විහාරාධිපති හිමියන්ගේ ජීවිතයට බරපතළ තර්ජන එල්ල වී ඇති බව ද ප්‍රකාශ කිරීමත් සමඟ රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියට කියා සිටියේ විහාරාධිපති හිමියන්ගේ ආරක්ෂාව තර කරන ලෙසය.


  -කාංචන කුමාර ආරියදාස-