තලවාකැලේ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කළ බවට වූ සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා කම්කරු  කොංග්‍රසයේ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු හයදෙනකුට එරෙහිව නඩු පවරන ලෙස නීතිපති උපදෙස් ලැබී ඇතැයි තලවකැලේ පොලිසිය නුවරඑළිය 
මහේස්ත්‍රාත් ප්‍රමෝද ජයසේකර මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.   මෙම සිද්ධියේ පළමු සැකකරු වූ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා මියගොස් ඇති බව ද මෙහිදී පොලිසිය කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ලබන මාර්තු මස 02 වැනිදාට මරණකරුගේ  මරණ සහතිකය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා තලවකැලේ පොලිසියට නියම කළේය.


එසේම නීතිපති උපදෙස් ප්‍රකාරව අනෙක් සැකකරුවන්ට එරහිව චෝදනා පත්‍ර ගොනුකරන ලෙස ද  මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.  ඒ අනුව චෝදනා පත්‍ර ගොනු කිරිමට නියමිතව ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ වත්මන් භාණ්ඩාගාරික සහ එවකට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය මරුදපාණ්ඩි රමේෂ්වරන්, ජාතික සමගි බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර්, ලංකා කම්කරු  කොංග්‍රසයේ උපසභාපති පලනි සත්‍යවේල්ට සහ එම පක්ෂයේ ආධාරකරුවන් දෙදෙනකුටය.


2013 අගෝස්තු මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම සැකකරුවන් එවකට තලවාකැලේට පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිලධාරින්ට බැණ තර්ජනය කළේ යැයි තලවාකැලේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.



-නිමන්ති රණසිංහ-