අත්හදා බැලීමකට හෝ මත්ද්‍රව්‍ය භාවිත නොකරන ලෙස පාසල් හැර යන පිරිස්වලින් හා තරුණයන්ගෙන් පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

යහළුවන් හිත මිතුරන් විසින් මත්ද්‍රව්‍ය ලබාදීම සිදුකළහොත් එය ප්‍රතික්ෂේප කරන ලෙසත්, මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා අනාගතයම අඳුරු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

තරුණ පරපුර මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතුවලට පවා පෙළඹී තිබෙන බවත්, මේ ආකාරයට ගංජා කිලෝ
විස්සක් ප්‍රවාහනය කළ විසිහය හැවිරිදි පුද්ගලයෙකු මන්නාරම පේසාල මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

මීට අමතරව කොතලාවලපුර ප්‍රදේශයේදී මත්පෙති දහසක් සමග 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එසේම හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී ගංජා කිලෝ එකයි ග්‍රෑම් හයසීයක ප්‍රමාණයක් සමග 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

මේ නිසා මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවීමෙන් වැළකී සිටීමට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය බෙදාහැරීම වැනි කටයුතුවලට යොමු නොවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


- ඉන්දික හේවාවිතාරණ -