මේ මොහොත වනවිට වෛද්‍යවරුන් සියයක් පමණ කොවිඩ් ආසාදිතයන් වී තවත් දෙසීයක් පමණ නිරෝධායනය වී සිටින අතර හෙද කාර්ය මණ්ඩල හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සිය ගණනක් ආසාදිතව සිටින බව පෙන්වාදෙන
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසංගත තත්ත්වය පාලනයෙන් ගිලිහී ගියහොත් රෝගීන් රෝහල්වලට
පැමිණෙන විට වෛද්‍යවරු රෝහල් තුළ නොසිටින තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි යැයි සඳහන් කරයි.


කොවිඩ් දෙවැනි රැල්ල සමාජගත වීමෙන් පසු ඉහළ මට්ටමේ ධාරිතාවක් පැවැති රටවල පවා සෞඛ්‍ය
පද්ධතිය කඩාවැටුණු බව සඳහන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත
අලුත්ගේ, පවතින තත්ත්වය යටතේ උපක්‍රමශීලී ප්‍රවේශයන්වල වෙනසක් වහාම ඇති කිරීමට රජයේ සහ
සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇතැයි පෙන්වා දෙයි.

පුත්තලම රෝහලේ වෛද්‍යවරයකුට ඊයේ කොවිඩ් ආසාදනය වී ඇති බවත් කොවිඩ් ආසාදිත වෛද්‍යවරුන් හා
සෞඛ්‍ය කාර්ය මණ්ඩල රඳවා තබාගැනීමට ප්‍රමාණවත් මධ්‍යස්ථාන කඩිනමින් පිළියෙල කළ යුතුව ඇති
බවත් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

මේ වනවිට හෝමාගම රෝහල කොවිඩ් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවත් කොළඹ ජාතික රෝහල කොවිඩ් රෝහලක්
නොවන නමුත් සංකූලතා ඇති රෝගීන් 29 දෙනකු එහි සිටින බව දැනගන්නට ලැබී ඇතැයිද එම රෝගීන් යොමු
කිරීමට
මධ්‍යස්ථාන නොමැතිවීම නිසා රෝහල් අධ්‍යක්ෂවරයා සහ කාර්ය මණ්ඩලය අසරණ වී සිටින බවද
වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මේ වනවිට සක්‍රිය ලෙස රෝගීන් වී සිටින වෛද්‍යවරුන් 43 දෙනකු සිටින බවත් ඉදිරියේදී රටාවක් ලෙස
මෙම තත්ත්වයේ ඉහළ යෑමක් ඇතිවිය හැකි බවත් හෙතෙම සඳහන් කරයි.

බස්නාහිර පළාත තුළ ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් රට පුරා
තැනින් තැන පොකුරු බිහිවීමට පටන්ගෙන ඇතැයිද පවතින තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් කර රෝගය
පාලනය කරගැනීමේ නව ප්‍රවේශයකට යොමුවීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයිද වෛද්‍ය හරිත
අලුත්ගේ සඳහන් කරයි.

පවතින තත්ත්වය යටතේ කොවිඩ් සඳහා ගෙන්වනු ලබන එන්නත් සියලුම වෛද්‍යවරුන්ට ලබාදී වෛද්‍යවරුන්ගේ
ආරක්ෂාව තහවුරු කළ යුතුව ඇතැයිද වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

ජේ.ටී. ද සිල්වා