මෙරට පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවෙහි 10දෙනෙකුට කෝවිඩ්19 ආසාදනය වීම මත එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන ඇත. 


ගම්පහ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත එහි 13දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කළ අවස්ථාවේ ඉන් 10දෙනෙකු ආසාදිතයන් බවට තහවුරුවී යයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

එම කාර්යාල ශාඛාවෙහි 31දෙනකු සේවය කරන බවත් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක්කළ පිරිස හැර අන් සියලුම දෙනා පී.සී.ආර් පරික්ෂාවට ලක්කිරීමට පියවර ගනු ලබන බවත් ගම්පහ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක නන්දන පතිරගේ මහතා පැවසූ අතර එම පිරිස, ඔවුන් රැදී සිටින ස්ථානයේදීම නිරෝධාය කිරීමට පියවර ගත් බවද පැවසීය.

මේ අතර ඊයේ (26දා) වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11,000 ඉක්මවා තිබුණි.


- තිලකරත්න දිසානායක -