කොරෝනා ආසාදිත බවට තහවුරු වන අය දින දහහතරක කාලයක් වෛද්‍ය අධීක්ෂණ යටතේ තබාගත යුතු
බවට නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කොට එම කාලය දින දහයකට අඩු කරමින් නව චක්‍රලේඛයක්
නිකුත් කර ඇත.

ඒ අනුව රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත වූවන් දින දහයකින් නිවෙස්වලට යැවීමට ඉඩකඩ ලබාදී තිබේ.


මීට හේතු වී ඇත්තේ රෝහල්වල හා නිරෝධායන මධ්‍යස්ථාන ධාරිතාව නොමැති වීම යැයි සමස්ත ලංකා
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව කොරෝනා ආසාදිත පිරිස දින දහයක කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා දින දහයකට පසු
නිවෙස්වලට යවා නිරෝධායනයට ලක්කිරීම සැලසුම වී ඇතැයිද ඒ මහතා කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයම පිළිගත් ක්‍රමවේදය වන්නේ සති දෙකක්වත් (දින 14ක්) කොරෝනා
ආසාදිතයකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබිය යුතු බවයි.

එහෙත් මේ වනවිට මෙරට සෞඛ්‍ය අංශ බලධාරීන්ට සැලසුමක් නොමැති නිසා දින දහයකට පසු ආසාදිතයන්
තැනින් තැනට යැවීමට සිදුව තිබීම නිසා වයිරසය සමාජය තුළ පැතිර යෑමේ අවදානම තවත් ඉහළ යනු
ඇතැයිද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ