පුරවැසියන්ගේ ඉඩම් ඔප්පු අන්තර්ජාලගත කිරීමේ හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හා මධ්‍යම ලේඛනාගාර වැඩ කටයුතු ආරම්භ කිරීම අද (04දා) සිදු කරන බව ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව ලංකාව පුරා විසිරී සිටින නොතාරිස්වරුන්ගේ දත්ත පද්ධතියක් සකස් කිරීමද අද සිදුවන අතර, මේ වනවිට දත්ත පද්ධතියට ඇතුළත් වීම සඳහා අටදහසකට අධික පිරිසක් තොරතුරු ලබා දී තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.


පුරවැසියන්ගේ ඉඩම් ඔප්පු අන්තර්ජාලගත කිරීම හරහා ඉඩම් සම්බන්ධ ලිපිලේඛන ජනතාවට කඩිනමින් හා නිවැරදි ආකාරයට ලබාගැනීමට හැකි වීමට අමතරව ව්‍යාජ ඔප්පු සකස් කිරීම හා ඉඩම් සම්බන්ධ ජාවාරම් ක්‍රියා නවතා දැමීමට හැකි වන බවද රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මීට අමතරව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර, මේ අනුව කොළඹ දිස්ත්‍රික් කාර්යාලය දෙපානම, පන්නිපිටිය (පොල්වත්ත මංසන්ධිය අසල) අංක 204 දරන ස්ථානයේ පිහිටි ලිපිනයේ පිහිටි ගොඩනැගිල්ලේදී අද විවෘත කෙරේ. පුරවැසියන්ගේ ඉඩම් ඔප්පු අන්තර්ජාලගත කිරීම කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර, මෙම කටයුතු රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සහාභාගිත්වයෙන් සිදු කෙරේ.

- ඉන්දික හේවාවිතාරණ -

-------
[Send your emails to editor - editor@gossiplankanews.com]