කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා දැනට ලොව නිෂ්පාදනය කර ඇති එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 192ක් මේ වනවිට ඉල්ලා තිබෙන බවත්, වයිරසය පාලනයේ දී දක්වා තිබෙන ප්‍රගතිය මත එම එන්නත ලබාදීමේදී අප රටට ප්‍රමුඛතාවක් හිමිවනු ඇති බවත් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක  බළකායේ ප්‍රධානී, යුද හමුදාපති, ජනරාල් ශල්වේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29) මහනුවරදී පැවැසීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් යුද  හමුදාපතිවරයා එසේ කීය. එහිදී යුද හමුදාපතිවරයා මෙසේ ද පැවැසීය.



“කොවිඩ් වයිරසය මර්දනය කිරිම සඳහා දැනට ලොව නිෂ්පාදනය කර තිබෙන එන්නත් කිහිපය අතරින් අපේ රටට වඩාත් ගැළැපෙන එන්නත කඩිනමින් මෙරටට ගෙන ඒම සඳහා පියවර ගන්නවා. පරිත්‍යාග ලෙස මෙම එන්නත් ලැබීමට ඉඩ තිබෙනවා. එසේ නොවුණහොත් ඕනෑම මුදලක් ගෙවා එම එන්නත් ගෙන්වන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.  එක්සත් රාජධානිය තුළින් හඳුනාගත් නව කොවිඩ් වයිරස් ප්‍රභේදය දැනට මෙරටින් සොයා ගෙන තිබෙන වයිරසයට වඩා සියයට 70ක වේගයකින් ව්‍යාප්ත වන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා. එය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.


වයිරසය ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ජනතාව අතරින් අති බහුතරයකගේ ඉහළ සහායක් ලැබුණත් සුළු පිරිසක් සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව ක්‍රියා කරමින් රට අවදානමකට පත් කිරීමට කටයුතු කරමින් සිටීම කනගාටුවට කරුණක්. අත්‍යවශ්‍ය කාරණාවකට හැර බස්නාහිර පළාතෙන් පිට නොවන ලෙස දැනුම් දී තිබියදී ඇතැමුන් වගකීම් විරහිතව ක්‍රියා කරනවා. බස්නාහිර පළාතෙන් පිටවීමට ඇති මාර්ග හතරකදී ඇන්ටිජන් පරික්ෂණවලට පුද්ගලයන් ලක්කළ අවස්ථාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 56 දෙනකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා” යැයි ද හමුදාපතිවරයා පැවැසීය.


 -චමිල් රූපසිංහ-