ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය සඳහා ඉදිකෙරෙන ගොඩනැඟිලි සංකීර්ණය වෙනුවෙන්
මුල්ගල් තැබීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (31දා)
පෙරවරුවේදී සිදුකෙරේ.
 
එම විශ්වවිද්‍යාලයට වසර ගණනාවක් තිස්සේ අඩුවක්ව පැවැති ඉන්ජිනේරු පීඨ ගොඩනැඟිල්ලක අඩුව පුරවමින්
මත්තේගොඩ පිහිටි අක්කර 10ක භූමියක මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකෙරේ.


ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් කෝටි 362කට අධික වියදමකින් ඉදිකෙරෙන මෙහි
ඉදිකිරීම් වසර දෙකහමාරකදී අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි එහි ඉන්ජිනේරු පීඨ පීඨාධිපති ආචාර්ය
කේ.එම්.සී. කොන්තසිංහ මහතා පැවැසීය.

ඉන්ජිනේරු පීඨයේ කටයුතු 2016 වසරේදී ආරම්භ වුවත් ඒ වෙනුවෙන් ගොඩනැඟිල්ලක් නොවීම නිසා මෙතෙක්
එය පවත්වාගෙන ගියේ රත්මලාන ප්‍රදේශයෙන් තාවකාලිකව ලබාගත් ගොඩනැඟිල්ලක අඩු පහසුකම් යටතේ
බවද කොන්තසිංහ මහතා සඳහන් කළේය.

සියලු පහසුකම්වලින් සමන්විත නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීමෙන් පසු දැනට එම පීඨය සඳහා බඳවා
ගන්නා 120ක් වන ශිෂ්‍ය සංඛ්‍යාව 400ක් පමණ දක්වා ඉහළ නැංවීමට හැකිවන බවද ඔහු කීවේය.

මෙම පීඨය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ හිටපු උපකුලපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
සභාවේ වත්මන් සභාපති ජේ‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාටත් වත්මන් උපකුලපති ජේ‍යෂ්ඨ
මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාටත් අපහසුතා මධ්‍යයේත් මෙතෙක් කල් පීඨයේ කටයුතු පවත්වාගෙන
යෑමට සහාය දුන් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලයට, සිසුන්ට ඇතුළු සියලුදෙනාට ස්තුතිවන්ත වන බවද
පීඨාධිපතිවරයා පැවැසීය.