ඊයේ සිදුවූ ගුවන් අනතුරින් 23 හැවිරිදි තරුණයෙකු මියගියේය. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 2019 ජනවාරි මාසයේ ගුවන් හමුදාවට පුහුණු ගුවන් නියමුවෙකු වශයෙක් පැමිණි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කේ.ආර්. ශාලින්ද  අමරකෝන් නැමැති ගුවන් හමුදා කැඩෙට් නිලධාරියාය.
 කෑගලු මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකු වූ ඔහු උසස් පෙළ ගණිත අංශයෙන් සමත්ව  2016 වර්ෂයේ පාසල් මාතාවගෙන් සමුගෙන 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව පුහුණු ගුවන් නියමු පාඨමාලාව හදාරා තිබුණි.


මෙම පුහුණු ගුවන් නියමුවා කෑගල්ලේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන දිවංගත සමන් අමරකෝන්ගේ බාල පුතායි.

මිය ගිය ශාලින්දට වැඩිමහල් සොයුරියන් දෙදෙනෙකි.ශාලින්ද තම මව සහ එම සොහොයුරියන් සමග රුවන්වැල්ල මාපිටිගම පදිංචිව සිටියේය.මෙලෙස කඩා වැටී ඇත්තේ 2018 වර්ෂයේ දී ගුවන් හමුදාවට ගත් අලුත්ම ගුවන් යානයකි.
ඊයේ (15) පස්වරු 1.00 පමණ පුහුණු ගුවන් සැසියක් සඳහා පිටත්ව ගිය PT6 වර්ගයේ ගුවන් යානය ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් මිනිත්තු 10 කට පසුව එය රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.


ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කර තිබුනේ යානය සහ පාලක මැදිරිය සමග තිබූ සබඳතා ගුවන් ගතවී ටිකකින් මුළුමනින් ඇණහිට තිබූ බවයි.

අනතුරුව ඊයේ පස්වරු 1.15ට පමණ යානය චීන වරාය විද්‍යාපීඨයේ සිට නාවික සැතපුම් 14 ක් දුරින් කන්තලේ, සූරියපුර ජනරංජන වැව ඉස්මත්තේ පිහිටි ඇළකට කඩා වැටි තිබුණි. අනතුර සිදුවූ ස්ථානයට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම්ද ගොස් පරීක්ෂාකර තිබුණි.

යානය තුළ සිරවී තිබූ කැඩේට් නිලධාරිවරයා ගේ සිරුර පිටතට ගැනීමට ගුවන් හමුදා නිලධාරීහු මහත් වෙහෙසක් ගත් අතර පැයක පමණ උත්සාහයකින් පසු යානයේ කොටස් ද කපා පිටතට ගත් සිරුර ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ත්‍රිකුණාමල රෝහලට රැගෙන ගොස් තිබුණි.

ගුවන් යානය කඩාවැටී ඇත්තේ මහවැලි ගඟේ වම් ඉවුරේ පිහිටි ඇළමාර්ගයකට වන අතර නියමුවා අවම හානියකින් යානය ගොඩබෑමට උත්සාහ දරා ඇති බව එමගින් පැහැදිලි වන්නේ යැයි එම ස්ථානයේ සිටි නිලධාරීහු සඳහන් කළහ.