මුල්ලේරියාව මුලික රෝහලේ ස්ථාපිත කර ඇති PCR යන්ත්‍රයට අවශ්‍ය කරන රසායනික ප්‍රතික්‍රියාකාරක නොමැතිවීම හේතුවෙන් PCR පරික්ෂාවන් මේ වන විට සීමාකර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පවසයි.


මේ හේතුව නිසා එම යන්ත්‍රය ක්‍රියා කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බැවින් දිනකට සාමාන්‍යයෙන් PCR පරීක්ෂාවන් 2000ක් පමණ සිදු කිරීමේ හැකියාව පැවතුනත් දැනට එම PCR පරික්ෂාවන් 1000ක් දක්වා අඩු වී ඇතැයි ඔහු සඳහන් කරයි

මෙම PCR යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ප්‍රතික්‍රියාකාරක ඉල්ලුම් කර යම් කාලයක් ගතවී ඇති බවත් මේ වනතුරුත් එය නොලැබුණු බවත් ඔහු සඳහන් කර සිටියේය.

" මෙම PCR යන්ත්‍රයට අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියාකාරක ලබා ගැනීමට අප ඉල්ලුම් කරලා ටික කලක් වෙනවා. නමුත් තවම ඒවා අපිට ලබාදී නැහැ. මෙම කටයුත්ත සිදුකරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්වීමෙන්. පවතින තත්ත්වය මත විදේශ රටවලින් එම රසායනික ප්‍රතික්‍රියාකාරක ගෙන්වා ගැනීම යම් ප්‍රමාදයක් ඇති බවයි පෙනී යන්නේ.

කෙසේ වුවත් ඊයේ දිනයේදී අප විසින් PCR පරීක්ෂණ 1000ක් පමණ සිදුකළා. නමුත් ඉදිරියේදී එය තවත් අඩු වෙනු ඇති. අපේ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් යුක්තව රාජකාරි කටයුතුවල යෙදී සිටිනවා. එය විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්" රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පවසා සිටියේය.