පානදුර පෞද්ගලික බැංකුවකට කෝවිඩ් වෛරසය ආසාදිත වූ යුවළක් පැමිණි බවට අනාවරණය වීමෙන් අනතුරුව එම බැංකුව ඊයේ (02දා) උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබාදුන් බව පානදුර නගර සභාවේ පරිපාලන මහජන සෞඛ් පරික්ෂක සම්පත් මොර මුදලි මහතා පැවසීය.  අදාළ බැංකුවේ  කළමනාකාරවරයා ඇතුළු කාර්යමණ්ඩලයට ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දුන් බව ඒ මහතා කීය. 
වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචි එම යුවළට මීට දින කීපයකට ඉහතදී පී.සි.ආර් පරික්ෂණ සිදු කර තිබූ  අතර පෙරේදා (01දා) සවස එහි වාර්තා ලැබීමෙන් අනතුරුව ඔවුන් ආගිය තැන් පිළිබද විමසීමේදී ඉකුත් සිකුරාදා වනවිට එම යුවළ දින කීපයක් බැංකුවට පැමිණ තිබූ බවට  වාද්දුව සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනාවරණය වී තිබූ බව මොරමුදලි මහතා පවසා සිටියේය.

එම තොරතුරු පානදුර සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලබා දීමෙන් අනතුරුව ඉහත උපදෙස් ලබා දුන් බව ඒ මහතා පැවසීය.  ඒ අනුව එම බැංකු පරිශ්‍රය විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් කාර්යමණ්ඩලයක් යොදවා හෙට දින සිට පවත්වාගෙන යාමට වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව මොරමුදලි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-