එංගලන්තයෙන් මතුවුණු කොරෝනා 19 වයිරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් බොරුවට කලබලවීමක් අවශ්‍ය නොවන බවත්, නව ප්‍රභේදය සම්බන්ධයෙන් සියලු විස්තර ඉදිරි දින කිහිපයේදී දැන ගැනීමට හැකිවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (22) පැවැසිය.  ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ කියා සිටියේ, එම සංවිධානයේ හදිසි සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන්ය. 


‘විකෘතිකරණයට ලක්වුණු මෙම නව ප්‍රභේදය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. මෙම ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් 19 වයිරසයෙන් වෙනස් වන්නේ මෙය සම්ප්‍රේෂණය වීම වේගවත් නිසයි. සාමාන්‍ය කොවිඩ් 19 වයිරසයට වඩා සියයට 70 ක වේගයකින් මෙය පැතිරෙනවා. වෙනසකට ඇත්තේ එපමණයි. මෙම වයිරස ප්‍රභේදය පාලනය කර ගැනීමට ඒ අනුව හැකියාවක් පවතිනවා.' යැයි වෛද්‍ය මයික් රයන් පවසා තිබේ.

‘කොවිඩ් 19 වයිරසයේ විකෘති වූ නව වයිරස ප්‍රභේදය පැතිරීම ආරම්භ කර ඇත්තේ එංගලන්තයේ නිරිත දෙසිනි. මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානියට එංගලන්තය, වේසය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය අයත් වන අතර, මේ වනවිට නව ප්‍රභේදය හමුවී නැත්තේ උතුරු අයර්ලන්ත කොවිඩ් 19 ආසාදිතයන් අතරින් පමණි.

නව චයිරස ප්‍රභේදය ආසාදනය වීම ආරම්භ වී ඇත්තේ පසුගිය සැප්තැම්බරයේය. ඊයේ (22) වනවිට, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ 35,928 දෙනකු මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තතා වී තිබුණි. මෙම නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණ වේගය සාමාන්‍ය 19 වයිරසයට වඩා සියයට 70 ගුණයකින් වැඩි බව තහවුරු වී තිබේ.