පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ධූරයෙන් ඉවත්විය යුතු බවට බලකරමින් එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයන් පසුගියදා ලාහෝර් අගනුවරදී උද්ඝෝෂණ පැවැත් වූ බව වාර්තා වෙයි. පාකිස්තානයේ විපක්ෂ දේශපාලන පක්ෂ 11ක සන්ධානයකින් සමන්විත පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානය මෙය සංවිධානය කර තිබේ.




රට තුළ ක්‍රියාත්මක නව කොරෝනා වෛරස ලොක්ඩවුන් සීමාකිරීමේ මෙන්ම, දේශපාලනය තුළ හමුදා මැදිහත්වීම් පිළිබදව චෝදනා කරමින් මෙම උද්ඝෝෂණ සංවිධානය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එසේම ඉලක්කම් දෙකේ උද්ධමනය, දුර්වල ආර්ථිකය, සිවිල් නිදහස උල්ලංඝනය කිරීම සහ මාධ්‍ය කප්පාදුව යනාදී චෝදනාද ඉම්රාන් ඛාන්ගේ රජයට එල්ල වී ඇත.

මේ අතර, එරට විපක්ෂය ලබන ජනවාරි මාසයේදී ඉම්රාන් ඛාන්ගේ රජයට එරෙහිව දැවැන්ත උඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර පසුගියදා ලාහෝර් නුවරදී පැවැති විරෝධතා එහි මුලපිරීමක් ලෙස සැලකෙයි.