කෝවිඩ් 19 වෛරසය පැතිර යාම හමුවේ කඩාවැටුණු මැණික් ක්ෂේත්‍රය යළි ගොඩ දැමීම සඳහා වෙනත් රටවල මෙන් ලංකාවේද ඔන්ලයින් ක්‍රමයට මැණික් අලෙවිය සදහා ලබන ජනවාරි මාසයේ සිට රජය අවසර දෙන බවට මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (14දා)  පැවැති සාකච්ඡාවකදී එකගවූ බව මැණික් ව්‍යාපාරිකයන්ගේ පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා   පැවසුවේය.

"ඇත්තටම මාස නවයක ඉදලා ලංකාවේ මැණික් කර්මාන්තය කඩාවැටිලා. මැණික් මිල 90%ක් පහළ බැහැලා. මැණික් ව්‍යාපාරයට සෘජුව ලක්ෂ තුනක් විතර සම්බන්ධයි. නමුත් ඒ අයගෙන් යැපෙන සංඛ්‍යාව ඒවගේ පස් හය ගුණයක්, මැණික් ක්ෂේත්‍රයේ කඩාවැටීම ගමේ සිල්ලර කඩේට, මෝටර් කාර්මිකයාට, කුලී වැඩකරන කම්කරු ප්‍රජාවට ආදී වූ ක්ෂේත්‍ර ගණනාවකටම බලපානවා. ඒ වගේම රජයට ආදායම් බදු ලෙස විශාල මුදලක් මැණික් ක්‍ෂේත්‍රයේ නියැලෙන අයගෙන් ලැබෙනවා. මැණික් කැපීම, මැණික් ආශ්‍රිතව ස්වර්ණාභරණ තැනීම
ආදී ක්ෂේත්‍රවලත් විශාල පිරිසකගේ රැකියාවලට බලපා තිබෙනවා.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (14දා) පැවති සාකච්ඡාව ඉතාම සාර්ථකයි. ඒක යථාර්ථවත් වෙන්නේ ඒ යෝජනා ක්‍රියාත්මක වූණොත් මැණික්වලින් රටට ලැබෙන අපනයන ආදායම බිලියන 5ක් දක්වා ඉහළට ගෙන ඒමයි රජයේ බලාපොරොත්තුව. ඇත්තටම ඒ බලාපොරොත්තු සපුරාගන්න සාකච්ඡාවේදී යෝජනා වූ කරුණු ක්‍රියාත්මක කළොත් පුළුවන්. අපි වගේම මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ සංවිධානවල නියෝජිතයන් රැසක් ඊට සහභාගිවුණා.

මේ වෙනකොට තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං වැනි රටවල් ඔන්ලයින් ක්‍රමයෙන් මැණික් ව්‍යාපාරය සිදුකරමින් ඒ රටවල මැණික් ව්‍යාපාරය යළි ගොඩගැනීමේ උත්සාහයක නිතරව සිටිනවා. එහි සාර්ථක බවක් පෙනෙනවා. අපිත් ඒ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලුවා. කෝවිඩ් අවදානම නිසා විදේශීය ගැණුම්කරුවන් එන්නේ නැහැ. දේශීය මැණික් අපනයන ව්‍යාපාරිකයන්ට විදේශ වෙළෙඳපොළ වෙත යන්න බෑ. ඔන්ලයින් ක්‍රමයට ඩොලර් 3000ට අඩු මැණික් වෙළඳාම් කිරීමටවත් අවසර ලැබෙනවා නම් යම් ප්‍රමාණයකින් මැණික් ව්‍යාපාරය ගොඩගන්න පුළුවන් වෙයි. මුලින් ඩොලර් 1000ක් වැඩි සීමාවකට ඔන්ලයින් බිස්නස් එකට 2021 ජනවාරියේ සිට අවසර දෙන බවට පොරොන්දු වුණා. ඒ ක්‍රමයට මැණික් වෙළදාම පටන් ගත්තොත් අද තියන ආදායමට වඩා 30%කින් ඉහළ නංවාලිය හැකි වේවි කියලා අපිත් විස්වාස කරනවා. මැණික් වෙළද පොළ යළි නගාසිටුවන්න මහ පොළොවේ තියන මැණික් ගොඩගන්න පතල් කැපීමේ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයත් පහසු කරන්න මෙහිදී එකග වුණා. ඒ අනුව මැණික් කැණීම් බලපත්‍ර ලබාගැනීමේදී වටයක් යන්න තිබුණ ක්‍රමය නැති කරලා, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉල්ලුම්පත් භාරදී සති දෙකක් ඇතුළත බලපත්‍ර ලබාදෙන්න කටයුතු කරන බවට රාජ්‍ය ඇමතිවරයා පොරොන්දු වුණා.

ගොවිජනසේවා දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් අනුමැතිය ලබාගැනීම මීට පෙර කළේ අයදුම්පත් ඉදිරිපත් කරන්නයි. නව ක්‍රමය අනුව එහි වගකීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැවරෙනවා. ඒ වගේම දේශීය රන්කරුවන්ට පනවා තිබූ 15%ක බද්ද ඉවත් කිරීමටත් දේශීය රන්කරුවන්ට එම බද්දෙන් තොරව රන් ලබාගැනීමට හැකි ක්‍රමවේදයකුත් සකස් කරන බවට එකඟත්වයක් ආවා.

අද ගම්වල තමන්ගේ සුලු ව්‍යාපාර ලෙස ස්වර්ණාභරණ නිපදවන ශිල්පීන් ඉන්නවා. මැණික් කපා ඔපදමන ශිල්පීන් ඉන්නවා. ඒ අය ලියාපදිංචි කරලා එයාලට බදු බරෙන් තොරව උපකරණ ගෙන්වා ගැනීමට පහසුකම් සැපයීමටත් මෙහිදී එකඟ වුණා. ඒක ක්‍ෂේත්‍රය ගොඩගන්න ලොකු පිටිවහලක් වේවි.

ඒ වගේම එකම වහලක් යටදී මැණික් ක්ෂේත්‍රයට
අදාළ සියලු කටයුතු කරගත හැකි "ජෙම්ටවර්” නමින් හදුන්වන මධ්‍යස්ථානයක් පිහිටුවන්න අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන ජනවාරි 05 රත්නපුර දෙමුවාවතදී මුල්ගල් තැබීමත් සිදු කරන බව අපට දැනුම්දුන්නා.

මැණික් පතල් කැණීමේදී බලපත්‍ර ලබාගැනීම පහසුකළ පමණින් පරිසරය විනාශ වෙන ආකාරයට යම් බලපත්‍රලාභියෙක් ක්‍රියා කරනවා නම් මැණික් ව්‍යාපාරිකයන්ගේ පතල්කරුවන්ගේ සංගමය විදියට අපි මැදිහත් වෙලා ඒ හානි නවත්වන්න පියවර ගන්නවා. ඒ නිසා ගොවි සංවිධාන, පරිසර සංවිධාන ආදි පොදු මහජනතාවගෙන් සැදුම්ලත් හැම සංවිධානයකින්ම අපි එවැනි හානිකර සිද්ධි ඇතිවුනොත් අපි  දැනුවත් කරන්න කියලත් ඉල්ලනවා. පරිසරය තිබුණාත් තමයි මේ ක්‍ෂේත්‍රය රැකෙන්නෙත්. මොකද අපේ සංගමය මැණික් පතල් කැණීමේදී අනුගමනය කරන කොන්දේසි තියනවා. ඒවා කඩ කරන අයට අපිත් විරුද්ධයි. ඒ නිසා ඉදිරියේදි ලැබෙන සහනදායි අවස්ථා රැකගැනීමට ක්‍ෂත්‍රයේ අපි වගකීමෙන් වැඩ කළයුතු වෙනවා." යයි මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ සහ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යාංශයේ ලේකම් උපතිස්ස සේනාරත්න, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ යන මහත්වරු සමග අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම්වරයාද, මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රවලට අයත් වෘත්තීය සහ පොදු සංගම් නියෝජිතයන් රැසක්ද මෙම සාකච්ඡාවට සහභාගිවූ බවත් පැය තුනකට අධික කාලයක් එම සාකච්ඡාව පැවති බවත් පුන්සිරි තෙන්නකෝන් මහතා සදහන් කළේය.
- අජිත්ලාල් ශාන්තඋදය -