ගම්පොළ ශික්ෂණ රෝහලෙන් හමු වූ කොවිඩ් අසාදිත වෛද්‍යවරියගේ පියා ද ආසාදිතයකු වී ඇති අතර පියාට අයත් වෙළෙඳසලක සේවය කරන සේවකයන් දෙදෙනකු ඊට ගොදුරු වී ඇතැයි ද වාර්තා වේ.


වෛද්‍යවරියගේ පියා ගම්පොළ නගරයේ කුකුළු මස් අලෙවිසල් ජාලයක පරිපාලකයකු බව ද ඔහු රෝග ලක්‍ෂණ තිබියදීත් ඒවායේ සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

කුකුළු මස් අලෙවිසල්වල සේවකයන් දෙදෙනා කොවිඩ් ආසාදිතයන් බව පෙරේදා (15) පෙරවරුවේදී තහවුරු වී ඇතත් එදින සවස් වනතුරුම එම කඩ විවෘත කර තිබුණු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍යවරියගේ පියා ප්‍රාදේශීය ලේකම්වරිය පවා හමුවී වෙනත් සේවකයන් යොදා එම වෙළෙඳසල් විවෘත කර තබා ගැනීමට උත්සාහ දරා ඇතැයි ද හෙළිවී තිබේ. එහෙත් ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතු බවයි.

ගම්පොළ නගරයේ ඇති කුකුළු මස් කඩ 4ක් සහ එක් හෝටලයක් වසා දැමීමට සෞඛ්‍ය අංශ ඊයේ (16) උදෑසන කටයුතු කර තිබුණි. මේ අතර ගම්පොළ ශික්ෂණ රෝහලේ හෙදියකට ද කොවිඩ් ආසාදිත වී ඇතැයි ද වාර්තා වේ.
- සුරංග රාජනායක -