කටුනායක, බියගම හා කොග්ගල ආයෝජන කලාපයන් අතර අන්තර් සබඳතාව ගොඩ නැඟීම, බියගම ආයෝජන කලාපයේ කර්මාන්ත දිරි ගැන්වීම හා ප්‍රදේශයේ ජනතාවට 
ගමනාගමන පහසුකම් සැලසීමත් මූලික කොටගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බියගම ප්‍රදේශයට අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පැවැසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙම අදහස් පළ කර සිටියේ බියගම ආසනයේ මාර්ග සංවර්ධන
ව්‍යාපෘති ආරම්භ කරමිනි.


ඒ අනුව කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ බියගම ආසනයේ මාවරමණ්ඩිය සුදර්ශි මාවත, ඇවරියවත්ත, ගොඩපරවත්ත මාර්ගය සියඹලාපේ උතුර සුදාගම මාර්ගය හා උලහිටියාව යන මාර්ගයන් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

ඒ යටතේ සංවර්ධනය වන දුර ප්‍රමාණය කිලෝමීටර් 2.5කි. ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 36කි.

බියගම ප්‍රදේශයට අධිවේගී අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ලබා දීමේ කටයුතු සැලසුම් කරමින් පවතින බවත් එය ලබන වසර වන විට ඉටු කරලීමට බලාපොරොත්තු වනවා. මෙම අන්තර් හුවමාරුව බියගම ප්‍රදේශයට ලබා දීමෙන් බියගම ආයෝජන කලාපයේ ආයෝජකයන්ට හා ප්‍රදේශයේ ජනතාවට ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙහිදී පැවැසීය.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුලිප් විජේසේකර, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති
ආනන්ද ගනේපොල, බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.