ඩෙංගු යනු ශ්‍රී ලංකාව තුළ වසර පුරාම වාර්තාවන රෝගයකි. රෝගය පිළිබඳව දැනුවත්වීම රෝගය වැළඳීමෙන් වැළකීමට මෙන්ම නිසි අයුරින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමටද වැදගත් වේ.  මෝසම් වර්ෂාපතන සමයන් සමග රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් වාර්ෂිකව දක්නට ලැබෙන හෙයින්, දැනට පවතින ඊසානදිග මෝසම් වර්ෂාපතනයන් සමගද ඩෙංගු සම්බන්ධව අපගේ අවධානය යොමුකිරීම වැදගත් වේ.

ඩෙංගු යනු කුමක්ද?
ඩෙංගු යනු මදුරුවකු මගින් බෝවන වෛරස් රෝගයකි. වෛරසයේ ප්‍රභේද හතරකි (DENV 1, DENV 2, DENV 3 and DENV 4). මෙම ප්‍රභේද හතරින්ම මිනිසාට ඩෙංගු වැළඳිය හැක. ඩෙංගු රෝගය මිනිසාට වැළදෙන්නේ Aedes aegypti සහ  Aedes albopictus යන මදුරු විශේෂ වලට අයත් ගැහැණු මදුරුවාගෙනි. මෙම මදුරුවන් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව වසර පුරාම බෝවේ. එම නිසා ඩෙංගු රෝගීන් වසර පුරාම වාර්තා වේ.  ඩෙංගු මදුරුවා (Aedes) බහුලව දිවාකාලය තුල මිනිසාට දෂ්ඨ කරනු ලබයි. උදෑසන 6.00- 10.00 අතර සහ සවස 3.00 - 6.00 කාලය මදුරුවා වඩාත් සක්‍රිය කාලයයි.
වෛරසය ශරීරයට ඇතුළුවන පුද්ගලයන්ගෙන් 75% - 80% කට පමණ රෝග ලක්ෂණ ඇති නොවේ. ඉතිරි 20% - 25% පමණ රෝග ලක්ෂණ පෙන්වන අතර ඉන් බහුතරයකට ඇතිවන්නේ උණ තත්ත්වයක් පමණි. සංකූලතා (උදා: ඩෙංගු රක්තපාත උණ) ඇතිවන්නේ 1-2% තරම් සුළුතරයකට පමණි. එක් වෛරස් ප්‍රභේදයක් ආසාදනය වීම, රෝගියාට ජීවිතාන්තය තෙක් එම ප්‍රභේදයෙන් ආරක්ෂාව සලසන නමුදු ඉතිරි ප්‍රභේද තුනෙන් ආරක්ෂාවක් ලබා නොදෙයි. එමෙන්ම ඩෙංගු උණ සෑදුණු පසු කලට වේලාවට ප්‍රතිකාර ලබා නොදුනහොත් වඩා අවදානම් වීමේ හැකියාවක් පවතී.

ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය
ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගය ප්‍රථම වරට වාර්තාවන්නේ 1960 දශකයේදීය. එනමුත් ඩෙංගු ශ්‍රී ලංකාව තුල   වසංගත තත්ත්වයන්  දක්වා වර්ධනය වන්නේ 1980 දශකයේ අග භාගයේදීය. පසුගිය දශක දෙකක කාලය තුල ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගයේ සීග්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබේ. මේ වනවිට 2020 වසර තුල (30.11.2020 දක්වා) ඩෙංගු රෝගීන් 29 400 ක පමණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වර්ෂය තුල දැනට දිනපතා වාර්තාවන රෝගීන් සංඛ්‍යාවෙහි පාලනයක් දැකිය හැකි වුවද, පවතින මෝසම් වර්ෂාපතන තත්ත්වය හමුවේ මදුරු මර්දනය සඳහා ජනතාවගේ සහභාගිත්වය අඩුවුවහොත් රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් ඇති වනු ඇත.

මීට අමතරව පහත ක්‍රම අනුගමනය මගින් මදුරුවා දෂ්ට කිරීම අවම කරගත හැක.
     මදුරුවාට දෂ්ට කල නොහැකි අයුරින් ශරීරය/ අත් පා ආවරණය වන ලෙස ඇඳුම් ඇඳීම.
     උදෑසන සහ සවස් කාලයන්හිදී දොර ජනෙල් වසා තැබීම
     මදුරු දැල් භාවිතය
     මදුරු විකර්ෂක ආලේපය (අනුමත මදුරු විකර්ෂක: සොෆෙල් - Soffel Cream, Soffel Spray, මොසෝ - Moso, මිනෝ 8 – Mino 8)

 ඩෙංගු රෝග ලක්ෂණ සහ  ප්‍රතිකාර
  •      තද උණ
  •      හිසරදය
  •      ඇස් යට/පිටුපස වේදනාව
  •      මස්පිඬු සහ සන්ධි වේදනාව
  •      සමේ රතු ලප
  •      ඔක්කාරය සහ වමනය
  •      කලාතුරකින් උගුර ආශ්‍රිත වේදනාව
ඩෙංගු උණ රක්තපාත තත්ත්වය දක්වා වර්ධනය වීමේදී  උදරයේ දකුණු පැත්තේ ඉහල කොටසේ වේදනාව , දිගටම පවතින ඔක්කාරය සහ වමනය, විදුරුමස් වලින් ලේ ගැලීම , ලේ මිශ්‍ර වමනය සහ මුත්‍රා අඩුවෙන් පිටවීම වැනි ලක්ෂණ දැකිය හැක. ශරීරයේ රුධිරවාහිනී තුල ඇති දියරමය ප්ලාස්මාව පිටතට කාන්දු වීම නිසා විශේෂයෙන් පෙනහළු සහ ආමාශය ආශ්‍රිතව තරල එකතුවිය හැක.
ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත වූ ප්‍රතිජීවකයක් නොමැත. රෝහල්ගතවූ විට සිදුකරනු ලබන්නේ රෝගියාගේ පවතින රෝග ලක්ෂණ අනුව ආධාරක ප්‍රතිකාර සිදුකිරීම මගින් ශරීරයට වෛරසය හා සටන්වැදීමට උපකාර කිරීම සහ අවදානම පහව යන තුරු රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය නොකඩවා නිරීක්ෂණය කිරීමයි.
ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැකකරන්නේ නම් සිදුකලයුතු දේ
  • උණ සඳහා පැරසිටමෝල් පමණක් නියමිත මාත්‍රාවෙන් භාවිතා කිරීම
    අනෙකුත් වේදනානාශක භාවිතා නොකිරීම (උදා: ඇස්ප්‍රින්, බ්රුෆන්, ඩික්ලොෆෙනක් සෝඩියම්, මෙෆෙනෙමික් ඇසිඩ් සහ ස්ටීරොයිඩ (ප්‍රෙඩ්නිසොලෝන්)
  • රෝගියාගේ එදිනෙදා ආහාරවේල් නොකඩවා ලබාදෙන අතරතුර අවශ්‍ය පමණ දියර වර්ග ලබා දීම (උදා: ජලය, කිරි, පළතුරු යුෂ, කැඳ, ජීවනී )
  • රෝගියාට අවශ්‍ය විවේකය ලබාදීම
  • සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන්න, නැතහොත් ලඟම ඇති රෝහලට යන්න

පහත ලක්ෂණ දක්නට ලැබේනම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවීම හෝ රෝහලට යාම අත්‍යවශ්‍ය වේ.
- රත්පැහැ/රුධිරය සහිත වමනය
- අධික උදරයේ වේදනාව
- කළුපැහැ මලපහ පිටවීම
- මුත්‍රා පිටවීමේ අඩුවක්
- අත් පා සීතල වීම
- නහයෙන් හෝ විදුරුමස්වලින් ලේ ගැලීම
- කරකැවිල්ල
- රෝග ලක්ෂණයන්හි අඩුවක්  නැතිනම් හෝ තවදුරටත් වර්ධනය වේ නම්
- ශ්වසන අපහසුතා
ඩෙංගු මර්දනය ඇතුළු අනෙකුත් ඩෙංගු සම්බන්ධ උපදෙස් ලබාගැනීම සඳහා ඔබට ජාතික ඩෙංගු මර්දන ඒකකය හෝ ඔබ ප්‍රදේශයේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇමතිය හැක.