මහනුවර ජාතික රෝහලේ දී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ කිහිපයකදී කොරෝනා වයිරස ආසාදිත රෝගීන් 43 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් තෙල්දෙණිය මුලික රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.



එකම දිනකදී මෙම ආසාදිතයන් වාර්තා වී ඇති බව කොවිඩ් ව්‍යාප්ති පාලන වාර්තා සඳහන් කරයි.

මෙම ආසාදිතයන් මහනුවර, අලවතුගොඩ, දවුලගල, වෙලම්බඩ, පේරාදෙණිය, වත්තේගම, හගුරන්කෙත, ගම්පල යන පොලිස් බල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවත් මොවුන් අතර පොලිස් නිලධාරින් තිදෙනකු ද සිටින බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මහනුවර බෝගම්බර ඇහැලේපොල කුමාරිහාමි මාවතෙන් ආසාදිතයන් 06 දෙනකු, හගුරන්කෙතින් දෙදෙනකු, වත්තේගමින් 09 දෙනකු, ගම්පොලින් 05 දෙනකු, අලවතුගොඩින් 04 දෙනකු, මහනුවරින් 27 දෙනෙක්,
කටුගස්තොටින් සහ රත්තොටින් එක් ආසාදිතයකු බැගින් මෙලෙස හඳුනාගෙන ඇත්තේ ඊයේ (02) සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණවලදී බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ඊයේ (02) වන විට කොරෝනා ආසාදිතයන් 283 දෙනකු සොයාගෙන ඇතැයි ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නලීන් ෆොන්සේකා මහතා පවසයි.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අයත් මෙම ප්‍රදේශවලින් පෙරේදා (01) පමණක් රෝගීන් 12 දෙනකු වාර්තතා වී ඇති අතර ඔවුන්ගෙන් 06 දෙනකු ගොතටුව නව නගරයේ උළුවත්ත ප්‍රදේශයේ නිවෙස් දෙකකින් හදුනාගත් බවද ඒ මහතා කීය.

ඉකුත් 24 වැනිදා ගොතටුව දළුවත්ත ප්‍රදේශයේදී මියගිය 48 හැවිරිදි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිතවූ බවට තහවුරු වූ අතර පසුව එම නිවැසියන්ට ද පී.සි.ආර්. පරික්ෂණ සිදුකර තිබිණි. ඒ අනුව මියගිය පුද්ගලයාගේ නිවස සහ යාබද නිවසේ අයට වයිරසය ආසාදිත බවට තහවුරු වී තිබේ.

ගොතටුව බෝපැත්ත ප්‍රදේශයෙන් ද පෙරේදා (01) ආසාදිතයත් තවත් 06 දෙනකු හඳුනා ගැනීමෙන් පසුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයන් ඊයේ (02) වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගින් ගණන 283 දෙනෙකි.


පැරණි බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ 27කට කොරෝනා


බෝගම්බර බන්ධනාගාරය මගින් පවත්වාගෙන යන පැරැණි බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවියන් 26 දෙනකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වීමෙන් පසු ඔවුන් තෙල්දණිය විශේෂ කොරෝනා ප්‍රතිකාර රෝහලට යොමුකළ බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසයි.

මහනුවර පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරි සඳහා යොදවා සිටි නිලධාරින් තිදෙනෙකුට මෙන්ම එහි රඳවා සිටි රැඳවියන් 182 දෙනකුටද වයිරසය ආසාදිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

ඊයේ (02) පෙරවරුව වන විට මධ්‍යම පළාතෙන් වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 501 දෙනකු බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියන අතර, එය මහනුවරින් 303 දෙනකු නුවරින් 146 දෙනකු සහ මාතලෙත් 52 දෙනකු ලෙස වාර්තා වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

පෙරේදා (01) පමණක් මහනුවරින් 09 දෙනකු සහ නුවරඑළියෙන් 08 දෙනකු ලෙස වාර්තා වුවත්, මාතලන් කිසිදු ආසාදිතයකු වාර්තා නොවූ බව ද අධ්‍යක්ෂවරයා කීය. ඇහැලියගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් තවත් 17 දෙනකු හඳුනාගැනීමත් සමග එම කොට්ඨාසයේ කෙරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

මෙම පිරිස අතර වැඩි පිරිසක් දිවුරුම්පිටිය ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර. එහි සේවකයින් තවත් පන්සියයකගේ පමණ පී.සි.ආර්. පරික්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි ද ඒ මහතා කීවේය. ඇහැලියගොඩ කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයත් සංඛ්‍යාව වැඩිවීමත් සමග  පෙරේදා (01) වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 289 දක්වා ඉහළ ගොස් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. ඇහැලියගොඩ 102 දෙනකු, රත්නපුර 29 දෙනකු, කුරුවිට 72 දෙනකු, කුරුවිට බන්ධනාගාරයේ 31  දෙනකු, අයගම 32 දෙනකු, කිරිඇල්ල 34 දෙනකු, කහවත්ත 03 දෙනකු, ඇලපාත 05 දෙනකු, පැල්මඩුල්ල 03 දෙනකු, ඇඹිලිපිටිය 05 දෙනකු වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිත රෝගීන් හඳුනාගෙන ඇතැයි ද රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළාය.

ඇහැලියගොඩ දිවුරුම්පිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 846 දෙනකු, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 895 ක 3909 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතා සැලසීම සඳහා රාජ්‍ය සේවකයන් යොදවා ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.


වෙන්නප්පුවේ සුපිරි වෙළදසලක ආරක්ෂක නිලධාරිනියකටත් කොරෝනා


වෙන්නප්පුව නගරයේ සුපිරි වෙළෙඳසලක ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම වෙළදසල පෙරේදා (01) සවස සිට වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

පනස්හය හැවිරිදි මම කාන්තාව හලාවත එගොඩපැල්ලේ පදිංචිකාරියක බවත්, ඇයට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවූ බවත් සෞඛ්‍ය අංශ පවසයි. එම කාන්තාව සේවය කළ සුපිරි වෙළෙඳසලේ සේවයෙ කරන සියලු සේවකයන්ට පී.සී.ආර්. පරික්ෂණ සිදුකර ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් සෞඛ්‍ය අංශ කියයි.


කටුකෙන්දේ ඇගලුම් සේවක 23ක්


දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවකයන් 23 දෙනකුට කොරෝනා ආසාදිතව ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක මහතා පැවසිය. මේ හේතුවෙන් එම සේවක පිරිසගේ ආශ්‍රිතයත් 458 දෙනක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් තවත් 300 දෙනෙක් පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමුකර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙලෙස රෝගීන් වී ඇති සේවක සේවිකාවන් මීගමුවේ 05 දෙනකු, දිවුලපිටියෙන් 08 දෙනකු, පන්නල 06 දෙනකු වශයෙන් වාර්තා වී ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇතැයි ද කුලතිලක මහතා පැවසිය.

මේ අනුව දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ රෝගීන් 351 දෙනකු වාර්තා වන අතර කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ රෝගීන් වැඩිවීමක් සිදුවී නොමැති බව ද ඔහු පවසයි.

හලාවත වැල්ල ධීවර ගම්මානයේ පදිංචි තරුණයන් තිදෙනකු ඇතුළු 12 දෙනකුට කොරෝනා ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. වැල්ල ධීවර ගම්මානයේ 80 දෙනකුට සිදුකළ අහඹු පී. සී.ආර්. පරික්ෂණවලින් මෙම 12 දෙනා හඳුනාගෙන ඇත.

ඉකුත් 30 වැනිදා හලාවත රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගිය වැල්ල ධිවර ගම්මානයේ පදිංචි කාත්තාවකගේ පී.සී.ආර්. පරික්ෂණයේදී ඇයට කොරෝනා ආසාදිතව ඇතැයි තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ පවසයි.

හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවය කළ උප පොලිස් පරික්ෂකවරයකුගේ පවුලේ ඥාතීන් සිවු දෙනකුට ද කොරෝනා ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම පොලිස් පරික්ෂකවරයා මින් ඉහතදී වයිරසය ආසාදිතව මේ වන විට නාරම්මල කොරෝනා ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ ඥාතීන් වන මව පියා සහෝදරයා සහ ඥාති පුත්‍රයාද එම රෝහලටම ඇතුළත් කළ බවත් සෞඛ්‍ය අංශ පවසයි.


නාත්තන්ඩියේ ඉස්සන් කර්මාන්තශාලාවක 48ක්


නාත්තන්ඩිය ප්‍රදේශයේ ඉස්සන් කර්මාන්ත ශාලාවක සේවකයන් 48 දෙනකුට කොරෝනා ආසාදිතව ඇතැයි වයඹ පළාත් සෞඛ්‍ය අංශ කියයි. එම ඉස්සන් කර්මාන්ත ශාලාවේ සේවයට හලාවත වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවලින් කම්කරු සේවකයන් පැමිණෙන බැවින් වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයන් හුදෙකලා කළ යුතු බවට සෞඛ්‍ය ඛලධාරින්ගේ මතය වී ඇතැයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කීවේය.

හලාවත ප්‍රදේශයේ ද බහුලව ධිවර කර්මාන්තය සහ ඉස්සන් වගාව සිදුවන බැවින් මෙම වයිරසය වේගයෙන් පැතිරීම පාලනය කළ යුතුව ඇතැයි වයඹ සෞඛ්‍යය බලධාරීන්ගේ මතය වී ඇතැයි ද ආණ්ඩුකාරවරයා පැවසීය.

මාතර දිස්ත්‍රික්කයන් දෙසැම්බර් මස 01 වැනිදා වන විට කොරෝනා ආසාදිතයන් සිවු දෙනකු හඳුනාගත් බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානයේ චාමර මහගමගේ මහතා පැවසීය.

මෙම රෝගීන් හඳුනාගෙන ඇත්තේ හක්මනින් දෙදෙනකු, මාතරින් සහ වැලිපිටියෙන් එක් රෝගියකු බැගින් බවත්, මොවුන් වරාය පොකුරේ ආශ්‍රිතයන් බවත් හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් තිදෙනකු ඊයේ (02) හදුනාගෙන ඇති අතර ඔවුන් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන්, ගෝනාපීනුවල සහ නාගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් හමුවී ඇතැයි ද චාමර මහගමගේ මහතා පැවසීය.


දකුණු පළාතේ මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් 166 දෙනකු සම්පුර්ණ සුවය ලබා ඇති අතර ගාල්ලෙන් 109 දෙනකු, මාතරින් 34 දෙනකු, හම්බන්තොටින් 23දෙනකු බවද සඳහන් වෙයි. පවුල් 1155ක 2732 දෙදෙනකු දකුණු පළාත තුළ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් මේ වන විට පී.සී.ආර්. පරික්ෂණ 34336ක් පළාතේ සිදුකර ඇති බවත් ඒ මහතා කීවේය.


රුහුණු සරසවි වෛද්‍ය සිසුවියකටත් පොසිටිව්


ගාල්ල කරාපිටියේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවියකට ද කාරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව පී.සී.ආර්. පරික්ෂණයකට යොමුවී ඇති අතර එහි ප්‍රතිඵල පෙරේදා (01) ලැබීමත් සමඟ ඇයට කොරෝනා ආසාදිතව ඇතැයි වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර කළ කාන්තාවක ඉකුත් නොවැම්බර් මස 09 වැනිදා කොරෝනා ආසාදිතව මියගොස් ඇති අතර මෙම ශිෂ්‍යාව එම ඒකකයේ සායනික කටයුතුවලට සහභාගී වී සිටි බවට තොරතුරු හෙළිවී ඇති බවත් පසුව ඇය පාතදුරේ පිහිටි නිවසට ද ගොස් ඇති බවත් හෙළිවී තිබේ.

රිකිල්ලගස්කඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ඇකිරිය සහ මුල්ඔය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය අංශ කියයි. අහඹු ලෙසින් ප්‍රදේශවාසීන්ගෙන් කළ පී.සී.ආර්. පරික්ෂණවලදී මෙම රෝගීන් හඳුනාගෙන ඇති අතර, මේ වන විට ඔවුන් හම්බන්තොට රෝහලට ඇතුළු කර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

ඇකිරිය ප්‍රදේශයේ රෝගියා බන්ධනාගාර නිලධාරියකු වන අතර මුල්ඔය ප්‍රදේශයෙන් හමුවූ රෝගීන් දෙදෙනා බියගම ඇඟලුම් කම්හලක සේවය කරන බවට හෙළිවී ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

බණ්ඩාරගම අටලූගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් වාර්තාවන රෝගින් 325 දෙනා ඇතුළුව කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ගණන 1435 ක් වශයෙන් වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

මොවුන් අතර ගැබිනි කාන්තාවන් 24ක් හා ආබාධිතයන් 17දෙනකු සිටින බවද සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීය. කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර ඉත්තෑපාන, බණ්ඩාරගම, මතුගම හා ඉංගිරිය රෝහල්වල කොරෝනා වයිරස ආසාදිත රෝගීන් 140 දෙනකු ද ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසීය.

මොනරාගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දෙදෙනකුට කොරෝනා ආසාදිතව ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ බෝල්ලාලගේ මහතා පවසයි.

මොවුන් දෙදෙනා බම්බලපිටිය ප්‍රදේශයේ පෙදරේරු වෘත්තියේ යෙදෙන අය වන අතර ඉකුත් 30 වැනිදා බුත්තල ප්‍රදේශයට පැමිණ ඇති බවත්, උණ රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගතව සිදුකළ පරික්ෂාවේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා කීය.

ගාල්ල ගෝනපිනුවල, මිල්ලදූව සහ උඩුගම යන ප්‍රදේශවල පදිංචි තිදෙනකුට ද වයිරසය ආසාදිතව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. ගෝනපීනුවල ප්‍රදේශයේ රෝගීවී ඇත්තේ චීන වරායේ සේවය කළ අයකුට බවත් උඩුගම ප්‍රදේශයේ වයිරසය ආසාදිතව ඇත්තේ පරිගණක අලුත්වැඩියා කරන අයෙක් බවත් වෛද්‍යවරයා කීවේය.


මිල්ලදූවේ කොරෝනා කතක්


ගාල්ල මිල්ලදූව ප්‍රදේශයෙන් ද කොරෝනා රෝගි කාන්තාවක් හමුවී ඇත. මෙම ගලෙන්බිඳුනවැව පඩිකාරමඩුව ගම්මානයෙන් කොරෝනා වයිරස ආසාදිතයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මෙම රෝගියා බෝගම්බර බන්ධනාගාර ගතව සිට පැමිණි අයකු බවත් ඇපලබා ගැනීමෙන් පසුව නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටීයදී වයිරසය ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

හක්මන කැබිලියපොල දකුණ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකුට කොරෝනා වයිරසය ආසාදිතව ඇති අතර ඔහු කොළඹ වරායේ සේවයකයකු බවද හක්මන ප්‍රාදේශීය

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මොහුගේ ආශ්‍රිතයින් 29 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් ඔවුන් අතර, පොලිස් නිලධාරින් දෙදෙනකු, ග්‍රාම නිලධාරිවරයකු, සුපිරි වෙළඳ සල් හිමිකරුවකු ද සිටින බව වෛද්‍ය අංශ කියයි.

හැටන් දිඹුල සහ ලිදුල ප්‍රදේශයෙන් ආසාදිතයන් 04 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් කොළඹ ප්‍රදේශයේ රැකියා නියුතුව සිට දිපවාලි උත්සවයට මෙම ප්‍රදේශවලට පැමිණි අය බවද සඳහන් වෙයි.

අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා ගම්පොලට පැමිණ සිටි පෞද්ගලික දුරකථන සමාගමක පස් දෙනකු ආසාදිතව ඇතැයි ගම්පොල නගර සභා සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන් සමග පැමිණි පිරිසේ අනෙකුත් අය මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවත්, මෙම පස් දෙනා හමුවීමෙන් පසුව ගම්පොල ප්‍රදේශයේ ආසාදිතයන් 42 දෙනකු බවත් සෞඛ්‍ය අංශ කියයි.

වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සේවයේ නියුතු සේවිකාවකටද ආසාදිතව ඇතැයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම සේකාව මේ වන විට යක්කල වැරැල්ලවත්ත කොරෝනා රෝගී ප්‍රතිකාර මධයස්ථානයට යොමු කළ බව වතුපිටිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. එල්. ප්‍රසාද් මංජුල මහතා පැවසිය. .

මීගමුව මහ නගර සභා බල සීමාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 23 දෙනකු හඳුනාගත් බව මීගමුව නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක යූ.වී. ගුණරත්න මහතා පවසයි.

මෙයින් 15 දෙනකු මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය කම්කරු නිවාසවලින් ද, නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් දෙදෙනෙක් වශයෙන් ද හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයන් දෙදෙනකු ට ද කොරෝනා ආසාදිත වී ඇතැයි සෞඛ්‍යය අංශ කියයි. ඒ හේතුවෙන් කොළොන්නාව තැපැල් කාර්යාලය සහ ඒ අවට පිහිටි උප තැපැල් කාර්යාල 06ක් ද වසා දැමු බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.