චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල රැගෙන ඒම සඳහා පිටත්ව ගිය චීනයේ Change -5 අභ්‍යවකාශ යානය පෙරේදා (01දා)

දිනයේදී සාර්ථක ලෙස සඳ මත ගොඩ බැසීම සිදුවූ බව චීන ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය නිවේදනය කර තිබුණි. 

මෙතෙක් දිනකට චන්ද්‍රයාගේ කක්ෂයේ රැදී සිටි යානය මෙලෙස චන්ද්‍රයා වෙත ගොඩබස්සවා තිබේ.

මෙම ගොඩබැසීමෙන් අනතුරුව යානය මගින් සඳ මත ඇති පාෂාණ සාම්පල එකතු කරගනු ඇතැයි එම ආයතනය පවසයි. එසේම මෙම ගොඩබැසීමත් සමග යානය සාර්ථක ලෙස සිය සූර්ය පැනල දිගහැරගෙන ඇති බවත්, ඒ හරහා යානය බල ගැන්වෙන බවත් සඳහන් කරයි. මෙම ගමනේදී චන්ද්‍රයා මත ඇති කිලෝ ග්‍රෑම් 2ක් පමණ වන පාෂාණ සාම්පල පෘථිවියට රැගෙන ඒම සැලසුම වී තිබේ.

2003 වසරේදී චීනය සිය ප්‍රථම ගගනගාමියා පෘථිවි කක්ෂය වෙතට රැගෙන යාමෙන් අනතුරුව සිදු කරන දැවැන්තම අභ්‍යවකාශ මෙහෙයුමද මෙයයි. ඉදිරියේදී අඟහරු වෙත සිය යානයක් යැවීමට මෙන්ම චන්ද්‍රයා වෙත සිය ගගනගාමියකු යැවීමටත් චීනය සූදානමින් සිටියි.