කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමුවීම හේතුවෙන් දෘෂ්ටි රෝගාබාධවලට ලක්වූ පාසල් දරුවන් විසි තිස් දෙනකු පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලේ අක්ෂි සායනයට  දෙනිකව පැමිණෙන බව එම රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය. එම නිසා පරිගණක හෝ ජංගම දුරකතනයේ තිරය දෙස අඛණ්ඩව  නොබලන ලෙසත් මිනිත්තු 20න් 20ට අඩුම වශයෙන් තත්පර 20ක හෝ විවේකයක් ගන්නා ලෙසත් හෙතම පාසල් හා සරසවි සිසු සිසුවියන් ගෙන් ඉල්ලීමක් කළේය. 



වමනය, ක්ලාන්ත ඇස්වලින් කඳුළු ගැලීම ආදී රෝග ලක්ෂණ සහිත දරු දැරියන් මේ දිනවල වැඩි වශයෙන් තමාගෙන් පෞද්ගලිකව හා රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බව කී ඉද්දවෙල මහතා ඒ සෑම අයකුගෙන්ම තමා පළමුවෙන් විමසන්නේ ඔන් ලයින් පාඩම් වැඩ කරනවාද යන්න බව කීවේය. ඊට ඔවුන්ගේ පිළිතුර “ඔව්' යන්න බවද හෙතෙම සඳහන් කළේය. ඇතැම් දරුවන්ගේ රෝග තත්ත්වය උත්සන්න වී සී.ටී. හා එම්. ආර්. අයි. වැනි  වෛද්‍ය පරික්ෂණවලට භාජනය වී ඇති බවත් පසුව ඔවුන් ඊට අදාළ විශේෂඥ  වෛද්‍යවරුන් විසින් අක්ෂි සායනවලට  යොමු කරන බවත් ඔහු සඳහන් කළේය.


අපේ ඇස් එක දෙයක්ම දිහා එක දිගට බලා ගෙන ඉන්න තරම් හුරුවක් නැහැ. දැන් දරුවන් පැය ගණන් එක දිගට  ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා පරිගණකය හෝ ජංගම දුරකතනයේ තිරය  දෙස බලා ගෙන සිටීම නිසා දෘෂ්ටි රෝගාබාධවලට ලක්වී තිබෙනවා. මේ දිනවල මා හමුවට පැමිණෙන පාසල් හා සරසවි සිසු සිසුවියන්ගෙන් සියයකට 60කට වඩා මේ තත්වය තිබෙනවා. ළමා අක්ෂි සායනයට එන දරුවන්ගෙන් සියයට 80කට වඩා මේ තත්වය දැක ගන්න තිබෙනවා.


මේක එතරම් හොඳ දෙයක් නොවෙයි. එම රෝග ලක්ෂණත් සමග ඇතැම් දරුවන්ගේ හැසිරීම් රටාව පවා වෙනස් වෙලා. ඔවුන්ට  වෙනදාට වඩා කේන්ති යනවා. තරහා යනවා. පවතින තත්වය යටතේ ඔන්ලයින් අධ්‍යාපනය සිදුවිය යුතුයි. හැබැයි ඒ ගැන කවුරුත් දැනුවත් විය යුතුයි. බටහිර  වෛද්‍ය විද්‍යාවේ මෙයට කියන්නේ කම්පියුටර් විෂන් සින්ඩ්රෝමි කියලයි.

 -ක්‍රිෂාන් ජීවක ජයරුක්-