සිය බිරිඳට උදලු මිටකින් පහරදී ඇය ඝාතනය කර, වස පානය කර අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තිදරු පියෙකු දින දහයකට පසු පෙරේදා (16දා) රාත්‍රි රෝහලේදී ජීවිතක්‍ෂයට පත්වූ බව හලාවත පොලීසිය පවසයි.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ,
පල්ලම ඉහළ මඩලානේ විසූ නිදරු පියෙකු වන ඩබ්.එම්. සුමිත් (අවු 46)  නමැත්තෙකි.

මියගිය අය හා ඔහුගේ බිරිඳ දරුවන් සමග ඉහළ මඩලානේ විසූ අතර, අඹු සැමි යුවළ අතර කාලයක සිට නිතර අඩදබර හා ගුටි බැට හුවමාරු සිදුවූ බවත්, පසුගිය 6 වැනිදා රාත්‍රී ඔවුන් නින්දට ගිය පසුද සුපුරුදු අයුරින් ආරවුලක් ඇති කර ගත් බවත් සිය නිවසේ තිබූ උදැල්ලක් ගෙන අමානුෂික ලෙසින් බිරිඳට පහරදී පලා ගොස් තිබූ බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.

එම රාත්‍රී තම මවගේ මරලතෝනිය අසා නින්දෙන් අවදි වූ දරුවන් මව ලේ ගලන තුවාල සහිතව වැටි සිටිනු දැක වහාම අසල්වාසීන්ගේ ආධාරයෙන් තුවාලකාරිණිය හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ නමුත් පසු දින අලුයම ජීවිතක්‍ෂයට පත්ව තිබූ බවත් හලාවත පොලීසිය සඳහන් කරයි.

බිරිඳට අමානුෂිකව පහරදී පලා ගිය ස්වාමි පුරුෂයා ඔහු සේවය කරමින් සිටි බුලත් කොටුවේදී වස පානය කිරීමෙන් අසාධ්‍යව හලාවත රෝහලට ඇතුළත් කර දින 10කට පසුව පෙරේදා (16දා) රාත්‍රියේදී  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


 - සුපුන් හංසන -