හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරද්දී භාවිත කළ ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය විමර්ශන සඳහා ලබාදෙන විට එහි සියලු දත්ත මකා දමා තිබූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික ඒකකයේ ස්ථානාධිපති  සම්පත් කුමාර සේනාරතන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙරේදා (06) සාක්ෂි දෙමින් පැවසීය. ජයවර්ධන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර සිදුවු දුරකතන සංවාදයක් කොමිසමට ඇසීමට සැලැස්වීමෙන් අනතුරුව එය සංස්කරණය කර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන්ද තවත් මෙවැනි හඬපට ඔහු සතුව තිබේද යන්න සම්බන්ධයෙන්
විමර්ශනය කිරිම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලෙස කොමිසම මීට පෙර නියෝග කළේය.

ඒ අනුව එම සංවාදය ඉදිරිපත්කළ පසුගිය සැප්තැම්බර් 14 වැනිදා කොමිසම තුළදීම ඔහුගේ ලැප්ටොප් පරිගණකයද එම අවස්ථාවේදිම පොලිස් කණ්ඩායමක් යොදවා ඔහුගේ බිරිඳ සතුව තිබු ජංගම  දුරකතනයද පොලිස් භාරයට ගනු ලැබිණි.  ඒවා රජයේ රස පරික්ෂක වෙත යොමුකර කොමිසමට වාර්තාවක් ලබාදෙන ලෙසද නියෝග කෙරිණි. එසේ පොලිස්කාරයට ගත් එම උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ඩිජිටල් වෝහාරික පරික්ෂණාගාරයට යොමු කර කරන ලද පරික්ෂණවලදී ජංගම දුරකතනයේ සියලු දත්ත මකාදමා එය මුලින්ම භාවිතාවට ගත් අවස්ථාව බඳු තත්වයට පත්කර තිබු බව තහවුරු වුයේ යැයි සම්පත් මහතා කොමිසමේදි පැවසීය.

එහි දත්ත යළි ලබාගත නොහැකි බවද ඔහු පැවසීය.  මේ සම්බන්ධයෙන් තමන් ජයවර්ධන මහතාගෙන් විමසූ විට එය තම බිරිඳට ලබාදෙන විට ජාතික ආරක්ෂාවට සම්බන්ධ සියලු දත්ත තොරතුරු මකා දමා ලබාදුන්නේ යැයි ප්‍රකාශ කළ බවද සම්පත් මහතා පැවසීය.

ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ තිබු මිලියන 2.6ක ලිපිගොනු මකාදමා තිබූ බවද එයින් ලිපිගොනු 210ක් නැවත උකහාගත් බවද හෙතෙම කීවේය.  එම ලිපිගොනු සම්බන්ධ වාර්තාවක් තමන්  කොමිසමේ පොලිස් ඒකකයට බාරදුන් බවද සම්පත් මහතා පැවසීය.


 -මුදිතා දයානන්ද-