චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල රැගෙන ඒම සඳහා චීනය මගින් සිදුකළ Chang'e-5 මෙහෙයුම ඉතාමත් සාර්ථකව ඊයේ (17දා) දිනයේදී එම සාම්පල පෘථිවිය වෙත රැගෙන ආ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය පවසයි.
 
ඒ අනුව බීජිං නුවර වේලාවෙන් අලුයම් කාලයේදී මෙම සාම්පල රැගත් කැප්සූලය උතුරදිග චීනයේ පිහිටි ඇතුළු මොංගෝලියාව නම් ස්වයං පාලන ප්‍රදේශය වෙත පතිත වී තිබේ.


මෙම සාම්පල ලැබීමත් සමග මිනිසුන් රහිතව චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල රැගෙන ඒම සඳහා සිය ආයතනය සිදුකළ මෙහෙයුම සාර්ථක බව චීනයේ ජාතික අභ්‍යවකාශ ආයතනයේ ප්‍රධානී සන්ග් කෙජිආන් සදහන් කරයි. 1976 වසරෙන් පසුව චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල රැගෙන ඒම සඳහා සිදුකළ පළමු වැනි මෙහෙයුම වන්නේද මෙම Chang'e5මෙහෙයුමයි. එහිදී චීනය සඳ කක්ෂයේ රැදී සිටින ඕබිටර් යානයක්, සඳ පෘෂ්ඨය වෙත ගොඩබසින ලෑන්ඩර් යානයක්, ඉන් ඉහළ කක්ෂය වෙත යළි පැමිණෙන ඇසෙන්ඩර් යානයක් මෙන්ම, සාම්පල ආපසු පෘථිවිය කරා රැගෙන ඒමේ රිටනර් යානයක් ඇතුළු අදියර හතරකින් යුතු මෙහෙයුමක් ලෙස මෙය ක්‍රියාත්මක කිරිමත් විශේෂත්වයකි.

එම ආයතනය පවසන ආකාරයට චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල රැගත් මෙම ආපසු පැමිණීමේ යානය බීජිං වේලාවෙන් ඊයේ අලුයම 1.33ට පමණ පෘථිවි වායුගෝලයට ඇතුළු වී තිබේ. එහිදී පැයට කිලෝමීටර් 11.2ක වේගයකින් එය පියාසර කරමින් තිබී ඇත. වායුගෝලයේදී දෙවතාවක්ම පොලාපැනීමකට ලක්ව ඇති එම යානය පෘථිවීයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවී පෘථිවිය වෙත පැමිණීම ඇරඹී ඇත.

පසුව එය පෘථිචිය මතුපිට සිට කිලෝමීර් 10ක් පමණ උසකදී එහි තිබූ පැරෂුට විවෘත කරගෙන ඇත.  ඒ අනුව පෙර සැලසුම් කළ ස්ථානය වෙතම අදාළ ආපසු පැමිණීම් යානය නිරුපද්‍රිතව ගොඩබැසි බව චීනයේ ජාතික අභ්‍යවකාශ ආයතනය පවසයි. එහිදී එම ස්ථානයේ රැදි සිටි විද්‍යාඥයන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් එම කැප්සූලය සුරක්ෂිතව තමන් භාරයට ගෙන තිබේ.


ඒ අනුව ගුවන් මගින් බීජිං නුවර පිහිටි එම ආයතන පරිශ්‍රය වෙත රැගෙන එන මෙම කැප්සූලය එහිදී විවෘත කිරීමට සැලසුම් කෙරී ඇත. පසුව චන්ද්‍රයාගෙන් ලබාගත් එම පාෂාණ සහිත බහාලුම චීනයේ විද්‍යා ඇකඩමිය මගින් පවත්වාගෙනයන ජාතික තාරකාවිද්‍යා නිරීක්ෂණාගාරයේ පිහිටි චන්ද්‍ර සාම්පල විද්‍යාගාරය වෙත ලබාදීම සිදුවෙයි.

මෙම බහාලුම සාම්පල ලබාගත් දිනයේ සිට මේ දක්වාම මුද්‍රා තබා තිබේ. මෙම විද්‍යාගාරය තුළ චන්ද්‍රයාගෙන් ගෙන ආ සාම්පල රදවා තබා ගැනීම සඳහා විශේෂයෙන්ම සැකසූ පරිශ්‍රයක් පවතින බව කියවෙයි. එහිදී මූලිකවම මෙම සාම්පල පෘථිවියේ වායුගෝලයේ හෝ ජලය හා ගැටීමකට ලක් නොවීමට වගබලා ගතයුතු බව විද්‍යාඥයන් පවසයි. මෙම පාෂාණ සාම්පල මගින් චන්ද්‍රයාගේ බිහිවීම සහ එහි සංයුතිය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවශ්‍ය වීම මෙලෙස එම සාම්පල ආරක්ෂා කිරීමට හේතුව වී තිබේ.

මේ අතර චීනය විසින් සාර්ථක මෙහෙයුමකින් අනතුරුව පෘථිවිය වත රැගෙන ආ මෙම චන්ද්‍රයාගේ පාෂාණ සාම්පලයෙන් කොටසක් ඉදිරි පරික්ෂණ සඳහා ලොව අනෙක් රටවල විද්‍යාඥයන් සමගින් බෙදාගැනීමටද කැමැත්තෙන් පසුවන බව චීනයේ ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරියේ නියෝජ්‍ය ප්‍රධානී වු යාන්හුආ සදහන් කරයි.

මෙම Chang'e-5 මෙහෙයුම පිළිබදව දැනුවත් කිරීම සඳහා එරට රාජ්‍ය කවුන්සිල තොරතුරු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත. එසේම මෙම සාම්පල අතරින් තවත් කොටසක් ඉදිරියේදී මහජන ප්‍රදර්ශනය සදහා තබන බවද ඔහු සදහන් කර තිබේ.