මුලතිව් තන්නිමුරුප්පු නගචෝලේ රක්ෂිතයෙන් අනුරාධපුර යුගයේ අවසාන භාගය ක්‍රිස්තු වර්ෂ 946-954 සියවසේ රාජ්‍ය පාලනය කළ හතරවැනි උදය රජුට අයත් ඉපැරණි සෙල්ලිපියක් සොයාගත් බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභිලේඛන හා නානක විද්‍යා අංශයේ නිලධාරින් විසින් ඉකුත් 02 වැනිදා සිට මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසම් නාගචෝලේ වන රක්ෂිතයේ පිහිටා ඇති අතිශය වැදගත් ආරාම සහිත ස්ථානයක පුරාවිද්‍යා කැණීම් ආරම්භ කර ඇති අතර එහිදී මෙම ඉපැරණි සෙල්ලිපිය සොයාගෙන තිබේ.

කුරුන්ද විහාරය නමින් අතීතයේ මෙම ස්ථානය හදුන්වා ඇති අතර එම ස්ථානයෙන් පුරාවිද්‍යා නටබුන් රැසක්ද සොයාගත් බව පුරාවිද්‍යා නිලධාරිහු පැවසූහ.


නිදන් හොරුන් මෙම සෙල්ලිපිය කොටස් කිහිපයකට කඩා විනාශ කොට තිබූ බවත් එහි කොටස් විවිධ ස්ථානවල පවතින බවද සඳහන් කළේය.

එම පුරාවිද්‍යා ස්ථානයේ කැණීම් වලින් කබොක් ගල්වලින් ඉදිකර ඇති ස්ථූපයක්, ප්‍රාකාර බැමි, ශිලා කුලුනු සහිත ගොඩනැගිලි, සඳකඩ පහන් සහ කැටයම් සහිත ශිලාමය උලුවහු සොයාගෙන ඇත. මේ පිළිබඳ අදහස් දැක්වූ පුරාවිද්‍යා වවුනියාව, මන්නාරම, මුලතිව් ප්‍රාදේශීය ගවේශන නිලධාරි වික්‍රමසිරි පියදාස මහතා මෙසේ කීය. අතීත අට්ඨකථාවන්හි සහ වංශකතාවන්හි සඳහන් කුරුන්දක, කුරුන්ද, කුරුඥපාසක යන නම්වලින් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයයි. ඛල්ලාඨනාග රජු ක්‍රි.ව. 100-103 දී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවැනි අග්බෝ රජු ක්‍රි.ව. 571-604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවට මහාවංශයේ සඳහන් වනවා.


1905 පුරාවිද්‍යා පාලන වාර්තාවල මෙම ස්ථානයෙන් හමු වූ තුන්වැනි මිහිඳු රජුට අයත් සෙල්ලිපියක් ගැන සඳහන් වේ. එහි මෙම ප්‍රදේශය කුරුන්ගම නමින් හඳුන්වා ඇති අතර වැවේ පැවති දිය ආරවුලක් සංසිදුවා මෙම සෙල්ලිපිය පිහිටවූ බව එහි සඳහන් වන බව කිවයුතුයි.

මෙම පුරාවිද්‍යා පරිශ්‍රය යටත් විජිත සමයේ වර්ෂ 1933 මැයි 12 වැනිදා විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අක්කර 78ක භූමි කොටසක් පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර පසුගිය දිනවල එම පැරණි මායිම් වසර 87කට පසු පාදාගැනීමේ කාර්යය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසත් මෙම ඉපැරණි සෙල්ලිපිය හමුවීම සඳහන් කළ හැකියි.

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ IV උදය රජුට අයත් ලිපියක් වන අතර අභයගිරිය ආරාමයට අනුබද්ධිත සිරිසඟබෝ රජමහ විහාරය නම් ආරාමයක් සම්බන්ධයෙන් හා ඊට කළ පුද සිරිත් පිළිබඳවත්, භික්ෂූන් වහල්ලාගේ පොදු කැමැත්තෙන් තුන් නිකායවල් සමඟි කිරීම සම්බන්ධව එකඟ වූ කතිකාවතක් සහ අභයගිරි විහාරයේ සේවයේ නියුතු නිලධාරින් විසින් මෙම ස්ථානයේ තිබූ පධානඝරයටත්, පිළිමගෙයටත් දෙන ලද දීමනා, වතාවත්, පුදසිරිත් පිළිබඳ මෙම සෙල්ලිපියේ අන්තර්ගතවනවා.

මීටර් එක හමාරක් පමණ දිග සහ පළල මීටරයක් පමණ මෙම සෙල්ලිපියේ පේලි ප්‍රමාණය 50ක් ඉක්මවා ඇති බවද වික්‍රමසිරි පියදාස මහතා වැඩිදුරටත් පැවසීය.

කැණීම් සඳහා අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු, වවුනියාව, මන්නාරම, මුලතිව් සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. ජයතිලක, ප්‍රාදේශීය ගවේශන නිලධාරී වික්‍රමසිරි පියදාස, අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ පර්යේෂණ නිලධාරි තනුර දයානන්ද, මුලතිව් කලාප භාර නිලධාරි ජනක ගුණතිලක, වව්නියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාල ගවේෂණ අංශයේ නිලධාරි අනුරාධ බණ්ඩාර, වී. විජයකුමාරි, අනුර රාමනායක යන මහත්වරුන් හා අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අයි.පී.එස්. නිශාන්ත, ඩබ්ලිව්.ජී. සමරවීර, ඒ.කේ.එස්. ජයතිලක යන මහත්වරු මේ සම්බන්ධයෙන් කටයුතු කළහ.

- රොමේෂ් මධුෂංඛ -