ඇමරිකා එක්සත් ජනපදය තුළ COVID-19 වසංගතය පාලනය සදහා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු එන්නත එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උපජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ධවල මන්දිරයේ ප්‍රධාන නිලධාරින් වෙත ලබාදීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. 


ඊයේ දිනයේදී මෙම වැඩසටහන ආරම්භ විය. රජයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් ඔවුන් දෙදෙනා වෙත එන්නත ලබාදීමට නියමිතව ඇතැයි පැවසෙයි.

Pfizer එන්නත මෙලස ලබාදීමට පියවර ගෙන ඇත. දැනට සැලසුම් කර ඇති ආකාරයට ඉදිරි දින 10 තුළදී ධවල මන්දිරයේ අත්‍යවශ්‍ය පුද්ගලයන් සඳහා සහ එක්සත් ජනපද රජයේ පළමු ශාඛා තුනෙහි හදුනාගත් නිලධාරින් වෙත මෙම එන්නත ලබාදීමට නියමිතව ඇත.

ට්‍රම්ප්ද ඊයේ සිය ට්වීටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් තමන් අනිවාර්යයෙන්ම එන්නත ලබාගන්නා බව පවසා තිබේ. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් වෙත දැනටමත් මෙම වෛරසය ආසාදනය වී සුව අතට පත්ව ඇති නිසා ඔහු වෙත එන්නත ලබා දේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලිවම අනාවරණය වී නොතිබුණි. මේ අතර ලබන ජනවාරි මාසයේදී එරට නව ජනාධිපතිවරයා ලෙස “දිවුරුම්දීමට නියමිතව ඇති ජෝ බයිඩන් වෙත හෝ උපජනාධිපතිනිය ලෙස තේරී පත්ව සිටින කමලා හැරිස් වෙත හෝ මෙම එන්නත ලබාදීමේ අවස්ථාවක් සම්බන්ධයෙන්ද , ඊයේ දිනය වනවිටත් සඳහන්ව නොතිබුණි.