වසර දෙකකට පමණ ඉහතදී නැතිවූ ජාතික හැඳුනුම්පතේ නම සඳහන් පුද්ගලයකුගේ නමින් පෙනී සිටිමින් සංගීත භාණ්ඩ විකිණිමට ඇති බවට අන්තර්ජාලයේ දැන්වීම් පළකර රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීම්  වල නිරතව සිටින්නකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇතැයි අපරාධ සහ සංවිධානාත්මක අපරාධ බාර නියෝජ්‍ය  පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. නාත්තන්ඩිය වැලිපැන්නගහමුල්ල ගෝනපොළ ආර්.එම්. ලලින්ද නමැත්තෙකුගේ නැතිවු ජාතික හැදුනුම්පත යොදාගනිමින් මෙම පුද්ගලයා සමහර රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ගිණුම් ආරම්භ කර මෙම වංචනික ක්‍රියාව සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කීය.



සංගීත භාණ්ඩ විකිණීමට තිබෙන බව සඳහන් කරමින් අන්තර්ජාලයේ දැන්වීම් පළකර ලලින්ද නමැත්තාගේ නමින් ආරම්භකර තිබෙන බැංකු ගිණුමේ මුදල් තැන්පත්කරන ලෙස ඉල්ලා ඇති බවද  නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.  මොහුගේ නැතිවූ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර ලබාගන්නා සිම්පත්වල අංක එම දැන්වීමේ පළකර තිබෙන බවද පොලිසිය කියයි.  එම දුරකථන අංකවලට කතා කළ පසු ගිණුම් අංකයට අත්තිකාරම් මුදල් තැන්පත්කර අවශ්‍ය සංගීත භාණ්ඩය වෙන්කරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මෙම වංචනික පුද්ගලයාගෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් ගණනාවක් රැවටී තිබෙන බවත් පොලිසිය කීය.


වැලිපැන්නගහමුල්ල පදීව සිටින ආර්.එච්. ලලින්ද (30) මහතා දුරකතනයෙන් මෙසේ පැවසීය.

මා පෙදරේරුවකු ලෙස රැකියාව කරනවා. මගේ ජාතික හැදුනුම්පාත 2018 වසරේ නැති වුණා. මා මේ සම්බන්ධයෙන් ඒ කාලයේ කුලියාපිටිය පොලිසියට පැමිණිලි කළා ඊට පස්සේ අලුතින් ජාතික හැඳුනුම්පතක් සාදාගත්තා. මට  මගේ නැතිවූ ජාතික හැඳුනුම්පත අහුලාගත් කිසියම් පුද්ගලයකු මගේ නමින් බැංකු කිහිපයකම ගිණුම් ආරම්භ කරලා තමා මේ වංචාව කරගෙන යන්නේ. මේ පුද්ගලයා වංචාවලට අසුවී ලක්ෂ ගණන් මුදල් අහිමිවූ අය පොලිසිවලට පැමිණිලි  කළහම පොලිසියෙන් අපේ ගෙදර ඇවිත් මාව අරගෙන යනවා. මේ වෙනකොට කිරිබත්ගොඩ, බියගම, අම්බලන්ගොඩ, හික්කඩුව, මාතර, අවිස්සාවේල්ල හා කඳාන යන පොලිසිවලින් ඇවිත් මාව අරගෙන ගිහින් තිබෙනවා. මගේ ජාතික හැදුනුත් නැතිවීම ගැන 2018 වසරේ කුලියාපිටිය  පොලිසියට කළ පැමිණිල්ලේ පිටපත පෙන්නලා  නිදහස් වී ආවා.


මගේ නමින් පෙනී සිටින පුද්ගලයාගේ වංචනික ක්‍රියාවට අසුවූ පුද්ගලයින් අපේ ගෙදරට මාව සොයාගෙන එනවා. බිරිඳ දරුවා හා මවුපියන් ඉදිරියේ මට හොරා කියා බනිනවා. ඇත්ත විස්තරේ කිව්වාම යනවා. මේ නිසා මට සමාජයට මුහුණ  දෙන්න බැරිවයි ඉන්නේ. ගමේ හුග දෙනෙක් මා දෙස බලන්නේ හොරෙක් විදිහට. මේ නිසා මට රස්සාවක් කරගන්නත් බැරිවයි ඉන්නේ. මේ හේතුව නිසා හරියට කළකිරිලා ඉන්නේ. මා මේ සම්බන්ධයෙන් පොලිසියේ සහන මැදිරියට හා ආරක්ෂක  ලේකම්වරයාටත් පැමිණිලි කළායැයි ලලින්ද මහතා කීය.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-