2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකට ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේදී අසාධාරණයක් සිදුව තිබියදී එම ගැටලුවට විසදුම් ලබා නොදී විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම ආරම්භ කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.


පැරණි නිර්දේශය සහ නව නිර්දේශය යන දෙකටම අදාළව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයට පෙනී සිටි බවත්, ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේදී ඇති වී තිබෙන මෙම ගැටලුව නිසා මෙම කණ්ඩායම් දෙකටම ආසාධාරකම් සිදුව ඇති බවත් එම සංගමයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ අවධාරණය කළහ.

අදාළ ගැටලුව විසඳාගැනීම සඳහා බලධාරීන් සමග මේ වනවිට සාකච්ඡා තුනක් පවත්වා තිබෙන බවත්, මේ අනුව දින දහයක් තුළ මෙම ගැටලුව විසඳාගැනීම සදහා සාකච්ඡාවක් ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාල බලධාරින් පසුගිය 23වැනිදා පොරොන්දු වූ බවද පවසා සිටියහ.

එසේ තිබියදී විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම් ආරම්භ කර තිබෙන බවත්, ගැටලුවට විසදුම් ලබාදීමෙන් පසු දැනට බදවාගෙන සිටින කිසිදු ශිෂ්‍යයෙකුට අසාධාරණයක් විය නොහැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

අදාළ ගැටලුවට විසදුම් කඩිනමින් ලබා දී විශ්වවිද්‍යාලවලට සුදුසුකම් සපුරා තිබෙන සියලුම දෙනා විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එහිමියෝ පවසා සිටියහ.

- ඉන්දික හේවාවිතාරණ -