රජයෙන් ලබාදුන් රුපියල් පන්දහසින් මාසයක් ජීවත්විය නොහැකි බැව් පවසමින් පෑලියගොඩ මීගමුපාර නෙල්ලිගහවත්ත ප්‍රදේශයේ ජනතාව ඊයේ (25) දහවල්  උද්ඝෝෂණයක් පැවැත්වූහ. තුන්සියයකට වැඩි පිරිසක් පෑලියගොඩ මිගමු පාර නෙල්ලිගහවත්ත ඉදිරිපිට මෙසේ උද්ඝෝෂණයේ නිරත වූ අතර උද්ඝෝෂකයෝ මෙසේ පැවසූහ.
"කොළඹ අය උද්ඝෝෂණ කළාම දහදාහක බඩු මල්ලක් දෙනවා. අපටත් ඒ බඩු මල්ල ලබාදෙන්න, අපිට ස්ථිර රැකියා  නැහැ.
රැකියා කරන තැන්වලින් පෑලියගොඩ කිව්වහම එන්න එපා කියනවා. කුලී වැඩක් කරන්න ගියාම පෑලියගොඩ පොකුර කියල අහලකටවත් ගන්නේ නැහැ. අපි අද අසරණ වෙලා. කොටින්ම කිව්වොත් පෑලියගොඩ කිව්වහම පාරක යන්නත් බැහැ. ඉස්පිරිතාලෙට ගියත් පෑලියගොඩ කිව්වහම ගන්නෙත් නැහැ. ගමේ බේත් ගන්න ඕන අයත් ඉන්නවා. මේවා බලන්න කවුරුත් නැහැ" යැයි ඔවුහු පැවසීය. ෙනෙල්ලිගහවත්තේ පදිංචි කාන්තාවක්‍ෙ මෙසේ පැවසුවාය.


“ග්‍රාමසේවා මහත්තය අපිට රුපියල් පන්දහස ලබාදුන්නා. පන්දාහෙන් මාසයක් ජීවත්වෙන්න පුළුවන්ද කියල අහන්න ඕනෑද? අපි අසරණ වෙලා ඉන්නේ. ළමයින්ට කිරිපිටි නැහැ. ළමයි හඬනවිට අපි මොනාද කරන්නේ . අපිට ස්ථිර රැකියා නැහැ. අපේ ගමේ ගෙවල් කීපයක් නිරෝධායනය කරල තිබෙනවා . පෑලියගොඩ කිව්වහම කිසිම මන්ත්‍රීවරයකු එන්නේ නැහැ. අපි පාරට බැස්සේ අපේ  දුක කියන්නයි. පෑලියගොඩ පොලිසියෙන් ඇවිත් කිව්වා බඩු මල්ලක් ලබා දෙන්නම් කියලා. ඊට පස්සේ අපි මොනවද කරන්නේ . ඒ නිසා අපිටත් දහදාහේ බඩු මල්ල ලබාදෙන්න යැයි ඇය පැවසුවාය.  පෑලියගොඩ පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඉක්මනින්ම බඩු මල්ලක් ලබාදීමට පොරොන්දු වීමත් සමග උද්ඝෝෂණයේ යෙදුණු පිරිස විසිර ගියහ.


-ලාල් එස්. කුමාර-