ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිඵලවලට අනුව පරාජයට පත්ව ධුරයෙන් ඉවත්ව යන ජනපතිවරයා බවට පත්ව සිටින ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණයේ ප්‍රතිඵල

අභියෝගයට ලක් කරමින් ඉදිරියේදී ජනතා රැළි කිහිපයක් සංවිධානය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව තමන් මෙවර ජනපතිවරණයෙන් ජයගනු ඇතැයි විශ්වාස කළ එහෙත් ප්‍රතිඵලයට අනුව ප්‍රතිවාදී ජෝ බයිඩන් විසින් ජයග්‍රහණය කරන ලද ප්‍රාන්ත කිහිපයක්
ඉලක්ක කර ගනිමින් මෙම රැළි සංවිධානය කෙරෙන බව ට්‍රම්ප්ගේ උපදේශකයන් පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ අතර ට්‍රම්ප් විසින් ජෝර්ජියාව, ඇරිසෝනාව සහ පෙන්සිල්වේනියාව යන ප්‍රාන්ත තුළ විශේෂ ඡන්ද යළි ගණන් කිරීමක් සඳහාද ප්‍රකාශයක් නිකුත් කිරීමට සුදානමින් සිටියි. එසේම ඔහු සහ රිපබ්ලිකන් පක්ෂය සහ එහි ආධාරකරුවන් දැනටමත් මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතද ගොස් තිබේ.

මෙම ප්‍රාන්ත තුළ දරුණු ඡන්ද වංචාවක් සිදුව ඇති බවට ඔවුන් චෝදනා කරයි. මෙහිදී මරණයට පත්ව ඇති පුද්ගලයන් බොහෝ දෙනෙකුද ඡන්දය ප්‍රකාශ කර ඇති බවත්, ඔවුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු යොදන බවත් රිපබ්ලිකන් පක්ෂය සහ ට්‍රම්ප්ගේ උපදේශකයන් පවසා සිටියි. එසේම එම පුද්ගලයන්ගේ මරණ සනාථ කළ හැකි ලියවිලිද ඉදිරිපත් කරන බව ඔවුන් පවසයි. ඔවුන් පවසන ආකාරයට 'මැරුණු ආත්ම’ මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලයක් මෙතෙක් නිවේදනය කර නොමැති අතර, හුදෙක් ඉලෙක්ටොරල් කොලේජ් ඡන්ද 358න් 290ක් හිමි කරගත් ජෝ. බයිඩන් මේ වනවිට එරට පත් වූ ජනපතිවරයා ලෙස ප්‍රකාශ කෙරී ඇත. ඒ අනුව ලෝක නායකයන් ඇතුළු පිරිස් දැනටමත් බයිඩන් සහ උපජනපති ලෙස තේරී පත්ව සිටින කමලා හැරීස් වෙත සිය සුභාශිංසන පළ කර තිබේ.