මියගිය කොටි නායකයන් හා සාමාජිකයන් සමරමින් ත්‍රිකුණාමලයේ  පොලිස්බල ප්‍රදේශ හතකට අයත් කිසිදු  ස්ථානයකදී මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින්, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරු විසින් තහනම් නියෝග නිකුත් කරන ලදී. දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු 27 දෙනෙකුට එරහිව අදාළ තහනම් නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරුන් අද (23) සිට  ඉදිරි දින 14 ක කාලය තුළ කිසිදු  මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු නොකරන ලෙසට නියෝග නිකුත් කළහ.
මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වා නොගතහොත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා විහිදී ගිය හැකි බව පෙන්වා දෙමින් නියෝජ්‍යෙ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් කුමාරි රත්නායක මහත්මිය සහ අතිරේක මහේස්ත්‍රාත් ලක්ෂන් ජයමාල් මහතා විසින් අදාළ තහනම් නියෝග නිකුත් කරන ලදී.

මේ අනුව ත්‍රිකුණාමල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශය, වරාය පොලිස් බල ප්‍රදේශය, උප්පුවේලි, කින්නියා,  පුල්මුඩේ, කුච්චවේලි සහ නිලාවැලි  පොලිස් බල ප්‍රදේශවල කිසිදු ස්ථානයක මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම වළකාලන නියෝග නිකුත් කෙරිණි. ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය ඇතුළු පොලිස් ස්ථාන විසින් තම ප්‍රදේශවල පැවැත්වීමට සංවිධානය කර ඇති මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණත් පොලීසියට ඇති බලතල අනුව මෙවැනි සැමරුම් උත්සව පැවැත්වීම වැළැක්විය හැකි බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරුන් විසින් පොලීසියේ ඉල්ලීම් ඉවත දමා තිබිණි.

ඒ පිළිබඳ අවධානය යොමු කළ නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නියෝගය මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (26) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ 
පෙනී සිටිමින් ජනාවාර්ගික අර්බුදයේදී මියගිය කොටි නායකයන් සහ සාමාජිකයන් සිහිකිරීම සඳහා මහවිරු  සැමරුම් උත්සව රාශියක් මෙම ප්‍රදේශවල පැවැත්වීමට සංවිධානය කොට ඇති බව බුද්ධි අංශවලට වාර්තා වී ඇතැයි දැනුම් දුන්නේය.  එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරු  අධිකරණය අමතමින් පොලිසීයට ඇති  බලතල අනුව මෙවැනි සැමරුම් උත්සව වළක්වාලීමට හැකියාව තිබියදී, අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලන්නේ ඇයිදැයි ප්‍රශ්න කළහ.


ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, ජනවාරිගික අර්බුදයේදී වැඩිම කොටි සාමාජිකයන් හා නායකයින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ නැගෙනහිර ප්‍රදේශයෙන් බවත්, මෙම ප්‍රදේශවල ඉදිකර ඇති කොටි සොහොන් කොත් ඒවාට සාක්ෂි දරන බව පැවසීය.  මෙවැනි තත්වයක් තුළ මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමට කොටි සාමාජිකයන්ගේ ඥාතීන් උත්සාහ කරනවිට එය මැඩපැවැත්වීමට පොලීසිය කටයුතු කළහොත් එය ගැටුමක් බවට පත්වී ලේ වැගිරීම් පවා සිදුවිය හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා දුර යා හැකි බවද පෙන්වා දුන්නේය.

උත්සවයක් පවත්වන විට එය මැඩපවත්වනවාට වඩා එයට ආරම්භයේදීම වළක්වා ගැනීමට ගැටලුව අවම කරන්නක් බව පෙන්වා දුන් දිලීප පීරිස් මහතා මෙම ප්‍රදේශවල මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.  ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරු නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම පිළිගනිමින් ඉදිරි දින 14 කට බලපැවැත්වෙන පරිදි අදාළ තහනම් නියෝගය නිකුත් කළහ.