මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ එළවළු අලෙවි අංශයේ 09 දෙනකුට කොවිඩ් ආසාදනය වී තිබෙන
බව තහවුරු වීමත් සමඟ මධ්‍යම වෙළෙඳපොළ ඊයේ (26දා) සිට තාවකාලිකව වසා දැමීමට මහනුවර මහ
නගර සභාව පියවර ගෙන ඇත.
 
එළවළු අලෙවි අංශයේ එක් අයකුට මෙයට දින තුනකට පෙර කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු වීමෙන්

පසු එම අංශය තාවකාලිකව වසා දැමුණු අතර ඔහු හා සමීප 08 දෙනකුට වයිරසය ආසාදනය වී තිබීම
නිසා නගර සභාව මෙම තීරණය ගෙන තිබේ.

රෝගය වැලඳීම හේතුවෙන් ඔවුන් පදිංචිව සිටින මහනුවර, මහයියාව ප්‍රදේශයේ ආශ්‍රිතයන් 800කට අධික
පිරිසක් නිරෝධායන කඳවුරුවලට යොමු කොට ඇති බවත් එම ප්‍රදේශයේ පදිංචිව සිටින

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සනීපාරක්ෂක කම්කරුවන් 500කට ආසන්න පිරිසක් මේ වනවිට
සේවයෙන් තාවකාලිකව බැහැරකොට සිටින බැවින් නගර සභාවේ කැළි කසළ බැහැර කිරීමේ යම් ප්‍රමාද
වීම් ඇතිවිය හැකි බවත් සඳහන් කළ නගරාධිපති කේසර සේනානායක මහතා, නගරයේ තැනින් තැන කසළ
බැහැර කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

නගර සභාව යටතේ ඇති සියලු ක්‍රීඩා පිටි තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව නියෝජ්‍ය
නගරාධිපති ඉලාහි ආබ්දීන් මහතා පැවැසීය. මේ අතර මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ
සංඛ්‍යාව 317ක් දක්වා ඉහළ නැඟ ඇති බව මධ්‍ය පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතරින් වැඩිම ආසාදිත සංඛ්‍යාව වන 177 මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර නුවරඑළිය
දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 100ක්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40ක්ද වාර්තා වී ඇති බව
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කියයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර නගරාශ්‍රිත සියලු පාසල් වසා දැමීමට තීරණය කොට ඇති
බවත් මහනුවර නරගාශ්‍රිත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දමා ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා
කියයි.

මහනුවර - කේ.එල්. සුරවීර හසලක - සුනිල් ඉහළගෙදර