ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරඟාවලිය ආරම්භය ආසන්නව තිබියදී තරඟාවලියට සහභාගි වන බව දන්වා සිටි ඇතැම් ක්‍රීඩකයන් සිය තීරණ වෙනස් කිරීමත් සමග සියලුම කණ්ඩායම්වලට සිය අවසන් සංචිත සකස් කර ගැනීම මේ වනචිට ගැටලුවක් වී

තිබේ. විශේෂයෙන් ඇතැම් විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර වාරයේදී කෝවිඩ්-19 වෛරසයට ගොදුරුවීමද කන්ඩායම්වලට සිය තීරණ වෙනස් කිරීමට හේතුවිය.

කෙසේ නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ හමුවේ දෙස් විදෙස් ක්‍රීඩකයන්, සහය කාර්යමණ්ඩල සහ කණ්ඩායම් නියෝජිතයින් මේ වනවිටත් හම්බන්තොට බලා පැමිණ අවසන්ය. තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.


මේ අතර එළබෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය ඉලක්ක කරගනිමින් පල්ලෙකැලේ පැවැත්වූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ පුහුණු කඳවුර ඊයේ (22දා) අවසන් වූ අතර, ඉන් එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ඊයේ දිනයේදී හම්බන්තොට බලා පිටත්වීමට නියමිතව තිබුණි. ඒ අනුව ඔවුන්ද ජෛව ආරක්‍ෂිත පරිසරයක (bio-bubble) රැදී සිටින අතර, දෙස් විදෙස් සියලුම ක්‍රීඩකයන්ගේ නිරෝධායන කාලය සම්පුර්ණ වීමෙන් අනතුරුව හෙට (24දා) දිනයේදී සියලුම කණ්ඩායම්වල සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. තරගවදින කණ්ඩායම් 05 තුළ මේ දක්වා සිදුවූ වෙනස්කම් පිළිබඳ සොයාබැලීමක් පහතින් දක්වා ඇත.


කැන්ඩි ටස්කර්ස්

බ.ඉ. කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් තරගාවලියට සහභාගි නොවන බව දන්වා සිටීමෙන් පුරප්පාඩු වූ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙකු මෙන්ම කඩුලු රකින්නෙකු වන බ්‍රෙන්ටන් ටේලර් තෝරාගෙන ඇත. ටෙලර්ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන් කැන්ඩි ටස්කර්ස් සමගින් එක්වන බව තහවුරු කර ඇති අතර, "ශ්‍රී ලංකාවට යන තුරු ඉවසිල්ලක් නැහැ” යනුවෙන් ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

ටස්කර්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. රහ්මනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහෙල් තන්වීර් (පාකිස්තානය), නවීන් උල් හක් (ඇෆ්ගනිස්තානය), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව) සහ මුනෆ්

පටෙල් (ඉන්දියාව) එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති සෙසු විදෙස් ක්‍රීඩකයෝ වෙති. අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූ ඩේල් ස්ටේන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඊයේ (22දා) තහවුරු කර සිටියේය.

මේ අතර පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක සොහොල් තන්වීර් හට "කෝවිඩ්-19" වයිරසය ආසාදිත වී ඇති බව පසුගියදා (19දා) අනාවරණය විය. ඒ අනුව ඔහු මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාපිත කර ඇති විශේෂ ස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අස්ල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙනිය, ළහිරු සමරකෝන්, නිෂාන් මදුසංක, චාමිකර එදිරිසිංහ, ඉෂාන් ජයරත්න ටස්කර්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන දේශීය ක්‍රීඩකයෝය.

සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ සහෝදරයෙකු වන සොහෙල් ඛාන් හිමිකාරිත්වය දරන ටස්කර්ස් කණ්ඩායමේ නායකත්වය පිළිබඳ ඊයේ (22දා) සවස් වනතුරුත් සඳහනක් නොතිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක හෂාන් තිලකරත්න මෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.



ගෝල් ග්ලැඩියේටර්ස්

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සඳහා සිය සහභාගිත්වය අවිනිශ්නව සිටි පාකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි මේ වනවිට සිය සහභාගිත්වය ස්ථිර කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහු එම කණ්ඩායමේ නායකත්වයටද පත්කර ඇත. එසේ වුවහොත් ඔහු එල්.පී.එල්. තරගාවලිය තුළ සිටින එකම විදෙස් නායකයා බවට පත්වනු ඇත. කෙසේ නමුත් අෆ්රිඩි අද (23දා) දිවයිනට පැමිණීමට නියමිත අතර, ඒ හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ආරම්භක තරඟ කිහිපයක් මගහැරෙනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණත්, ඔහු සුදානම් නොමැති බව දන්වා සිටිමින් තරගාවලියට සහභාගි නොවන බව දන්වා සිටියේය. අසාම් ඛාන් (පාකිස්තානය), මොහොමඩ් අමීර් (පාකිස්තානය), හස්රතුල්ලාහ් සසායි (ඇෆ්ගනිස්තානය), චද්වික් වෝල්ටන් (බ.ඉ. කොදෙව්) සහ අහ්ෂාන් අලි (පාකිස්තානය) ග්ලැඩියේටර්ස් නියෝජනය කරන සෙසු විදෙස් ක්‍රීඩකයන්ය.

මෙම කණ්ඩායමේ උපනායක ලෙස භානුක රාජපක්‍ෂ නම් කර ඇති අතර, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් සිරාජ්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ සහ දුවිඳු තිලකරත්න එහි සෙසු දේශීය ක්‍රීඩකයන්ය.

පාකිස්තානු ක්‍රිකට් හිටපු නායක මොයින් ඛාන් ග්ලැඩියේටර්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, පාකිස්තානයේම ව්‍යාපාරිකයෙකු වන නදීම් ඕමාර් එහි හිමිකරු ලෙස කටයුතු කරයි.


ජැෆ්නා ස්ටැලියන්ස්

තිසර පෙරේරා නායකත්වය හොබවන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමටද අවසාන මොහොතේ ක්‍රීඩක ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවිය. ඒ අතරින් එංගලන්තයේ රවී බොපාරා එරටින් පිටත් වීමට පෙර අදාළ සම්පුර්ණ ගාස්තුව ලබාදෙන ලෙස කළ ඉල්ලීමට එකඟ නොවූ හෙයින් ඔහු තරගාවලියට සහභාගි නොවන බව දන්වා සිටියේය. කෙසේ නමුත් බොපාරාගේ ආදේශ ක්‍රීඩකයා ලෙස කොදෙව් ආරම්භක පිතිකරුවෙකු වන ජෝන්සන් චාල්ස් තෝරාගෙන ඇත. චාල්ස් 2012 සහ 2016 විස්සයි20 ලෝක ශූර කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙකුද වෙයි. කෙසේ නමුත් ඔහුටද පළමු තරග කිහිපය මගහැරෙනු ඇත.

ස්ටැලියන්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත සෙසු විදෙස් ක්‍රීඩකයන් වන්නේ ඩුවාන් ඔලිවර් (දකුණු අප්‍රිකාව), උස්මාන් ශින්වාරි (පාකිස්තානය), ටොම් මුවර්ස් (එංගලන්තය), කයිල් ඇබොට් (දකුණු අප්‍රිකාව) හා ෂොයිබ් මලික් (පාකිස්තානය)ය. ෂොයිබ් මලික් ඊයේ (22)දා ශ්‍රී ලංකාවට පැමිණියේය.

'වාද මචාන්' අන්වර්ථ නාමයෙන්ම හඳුන්වන ස්ටෑලියන්ස් කණ්ඩායමට දේශීය ක්‍රීඩකයන් ලෙස වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂණ, චරිත් අසංලක, නුවනිඳු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල්රාජ්, දිවේන්ද්‍රන් දිනෝෂන්, විජයකාන්ත් වයස්කන්ත් හා ප්‍රභාත් ජයසූරිය ඇතුළත්ව සිටියි.

ශ්‍රී ලංකා හිටපු නායක තිළිණ කණ්ඩම්බි ස්ටෑලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, එංගලන්ත ව්‍යාපාරිකයෙකු වන රාහුල් සූඩ් මෙහි හිමිකරු වෙයි.


දඹුල්ල වයිකිංග්ස්

දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේද අවසන් මොහොතේ විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම වෙනස් විය. කාලෝස් බ්‍රාත්වේට්/ලෙන්ඩ්ල් සිමන්ස් (කොදෙව්), ඩේවිඩ් මිලර් (ද. අප්‍රිකාව) හා කරන් අක්මාල් වයිකිංග්ස්ට අහිමි වූ විදෙස් ක්‍රීඩකයන්ය. කෙසේ නමුත් විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඔවුන් සතුව සිටියි. පෝල් ස්ටර්ලිං (අයර්ලන්තය), සමිත් පටෙල් (එංගලන්තය), සුදීප් ත්‍යාගි (ඉන්දියාව), අෆ්රාබ් අලාම් (ඇත්ගනිස්තානය), සොහායිබ් මකිසූඩ් (පාකිස්තානය) හා අන්වර් අලී (පාකිස්තානය) ඒ අතර වෙයි.

නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු මධුසංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, අශේන් බණ්ඩාර, ඩිල්ෂාන් මධුසංක, කවිඳු නදීෂාන්, සචිඳු කොළඹගේ, මලින්ද පුෂ්පකුමාර මෙහි සිටින දේශීය ක්‍රීඩකයෝ වෙති. එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඔවායිස් ෂාහ් වයිකිංග්ස්ගේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ඉන්දීය සිනමා නළුවෙකු වන සචින් ජේ. ජෝෂි මෙහි හිමිකරු වෙයි.


කලම්බු කිංග්ස්

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ තරගවදින කලම්බු කිංග්ස් කණ්ඩායමටද වෙනස්කම් කිහිපයක් යටතේ ක්‍රීඩා කිරීමට සිදුව ඇත. එම කණ්ඩායමට ඇතුළත්ව සිටි කැනඩාවේ රවින්ද්‍රපාල් සිං 'කෝවිඩ්-19" වයිරස ආසාදිතයෙකු බව පසුගියදා හඳුනා ගැණිනි. ඒ අනුව ඔහුද හුදෙකලා කර ප්‍රතිකාර කිරීමට කටයුතු යොදා ඇත.

කෙසේ නමුත් කලම්බු කණ්ඩායමට සිදු වූ බලවත්ම පාඩුව වූයේ රවින්ද්‍රපාල් ශ්‍රී ලංකාව බලා පැමිණි ගුවන් යානයේම කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු අන්ද්‍රි රසල්ද සිටීමයි. කෙසේ නමුත් ඔහු වයිරසයට නිරාවරණය වී තිබුණද, ඔහුට දිගින් දිගටම සිදු කළ කෝවිඩ්19 පරීක්ෂණවලින් ඔහු ආසාදිතයෙකු නොවන බව වාර්තා වේ. එසේ වුවහොත් පළමු තරගයේ සිට රසල් කලම්බු කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

කොළඹ කණ්ඩායමට තෝරාගෙන සිටි මන්වින්දර් බිස්ලා (ඉන්දියාව) සහ මොහොමඩ් හෆීස් (පාකිස්තානය) මෙවර තරගාවලියට සහභාගි නොවේ. කෙසේ නමුත් එංගලන්ත ක්‍රීඩක දෙපළක් වන ඩැනියල් බෙල්-ඩ්‍රම්මන්ඩ් සහ ලෝරී එවන්ස් එක්කරගනු ලැබීය.

මෙම කණ්ඩායම නියෝජනය කරන සෙසු දෙස් විදෙස් ක්‍රීඩකයන් වන්නේ ක්වායිස් අහ්මඩ් (ඇෆ්ගනිස්තානය), මන්ප්‍රීට් ගෝනි (ඉන්දියාව), කරීම් සාදික් (ඇෆ්ගනිස්තානය) සමගින් ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ, තික්ෂිලිද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර, හිමේෂ් රාමනායක, කලණ පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන හා ධම්මික ප්‍රසාද් යන දේශීය ක්‍රීඩකයන්ය.

හර්ෂල් ගිබ්ස් කලම්බු කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරිකයෙකු වන මුර්ෆාඩ් මුස්තාපා මෙහි හිමිකරුවෙයි.