බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන 23 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් 19 වැනිදා තීරණය කළේ ය.

එහෙත් ගුරු සංගම් ඇතුළු පාර්ශව පෙන්වා දෙන්නේ එම තීරණය ගැන නැවත සිතා බැලිය යුතු බවයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා

    ජී.එල්. පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළේ 6 – 13 පන්ති පවත්වන්න තීරණයක් ගත්තේ, පාසල් පද්ධතියේ ඉන්න ජ්‍යෙෂ්ඨ ගුරුවරු සහ ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරුන් එක්ක සාකච්ඡා කරලා කියලා. අපි දන්නේ නෑ සාකච්ඡාව කරේ කාත් එක්ක ද කියලා ඇත්තටම. පාසල් නැවත අරිනවා නම් යම්කිසි විදියකට විෂබීජහරණය සිදු කරන්න ඕනේ පාසල්වල .
හෙට ඉරිදා එතකොට කවද්ද මේවා කරන්නේ . පාසල් ඊළඟට නිවාඩු දෙන්න තියෙන්නේ දෙසැම්බර් මාසෙ 2. සති හතරයි තියෙන්නෙ. එතකොට දැන් සාමාන්‍යයෙන් පන්තියක ළමයි 30 කට වැඩිය ඉන්නවනම් කොටස් වශයෙන් ගෙන්වන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට මේ සති හතරක කාලය තුළ සැබැවින්ම දරුවෙකුට හම්බෙන්නෙ සති දෙකයි අධ්‍යයනය කරන්න කාලය. ඊළඟට අපි කියන්නේ මෙතන ඔන්ලයින්වලින් පාසලේ ඉගැන්වීම සාර්ථක නැහැ. ජනවාරි 18 සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීමට ප්‍රථම මේ ළමයිට දැනුවත් කරන්න ඕනේ ඔබගේ විෂය නිර්දේශයෙන් මෙන්න මේවා තමයි අපි කරන්නේ. කොළඹ, කළුතර ගම්පහ ප්‍රදේශවල පාසල් වහලා ඒ වගේම දැනට තීරණයක් අරන් තියෙනවා වයඹ පළාතේ නාගරික ප්‍රදේශයේ සහ අනිකුත් ප්‍රදේශ කිහිපයක පාසල් වහන්න වගේම තවත් ලොක්ඩවුන් කරපු ප්‍රදේශ තියෙනවා නම් ඒ වලත් පාසල් ආරම්භ කරන්නේ නැහැ එතකොට මේ ළමයි සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක් විය යුතුද?

     

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා

    ඇත්තටම මේ පිළිබඳව අපි සියලු දෙනාම සාකච්ඡා කරලා තමයි මේ තීරණයට එළැඹියේ. මෙම වෛරසය වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන බස්නාහිර පළාතේ . පාසල් විවෘත නොකිරීමට අපි තීරණය කළේ ඒකයි. එතකොට අපි මේ දැන් ඊයේ වාර්තා වෙච්ච රෝගීන් 435 ගත්තොත් බස්නාහිර පළාතෙන් පිට ඉන්නේ ඇත්තටම රෝගීන් කීපදෙනයි. ඒවත් අපි අඳුර ගත්ත ආශ්‍රිතයින්. එතකොට මං හිතනවා ඒ පිළිබඳව වසංගතවේද ක්‍රමවේද අනුව අපි තීරණය කරලා තමයි අපි මේ තීරණයට එළැඹියේ. මොකද එකක් අපි තේරුම් ගත යුතුයි මේ වෛසරය සම්පූර්ණයෙන්ම නැති වෙනකම් හිටියොත් අපිට කියන්න බෑ කවදද මේ පාසල් විවෘත කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා අපි යම්කිසි ක්‍රමවේදයක් අනුව මේක පාලනයට නතු කර ගත්තාම අපි හිතනවා මේ හැම දෙයක්ම යම්කිසි ක්‍රමවේදයකට අනුව විවෘත කරන්න පුළුවන් වෙයි කියලා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ඉන්දික පරණවිතාන මහතා

    රෑට දකින හීනවලට උදේට තීරණ ගන්නවා වගේ මේ සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ. අපි දැක්ක ගියවර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක් තිබුණා . පළමුව 11 ශ්‍රේණියේ දරුවන් 12,13 දරුවන් කැඳවලා ක්‍රමයෙන් තමයි පාසල් ආරම්භ කළේ මුලින්ම ගුරුවරු ගෙන්වලා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තමයි ආරම්භ කළේ. නමුත් මෙකේ එහෙම මුකුත් නෑ. නිවසේ සිට පාසලට එන අතරතුරේදී මේ රෝගයට දරුවන් ලක්වෙන්න තියෙන අවධානම ඉතාම වැඩී.
කොරෝනා රැල්ලක් පාසලකින් ඇතිවුණොත් ඒකේ වගකීම සම්පූර්ණයෙන් බලධාරීන් ගන්න ඕනේ.

    සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එන්.එම්.කේ.හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා පවසන්නේ, සෞඛ්‍ය රීති අනුව දරුවන් පාසල් වෙත ගෙන යාම සඳහා සහනයක් ලැබිය යුතු බවයි.

    දරුවන් අපේ පාසල් බස් රථ සහ වෑන් රථ සඳහා 50% ක් ඒ කියන්නේ අඩක් ගෙන යාමට නිර්දේශ කරලා තිබෙනවා. අපිට සිද්ධ වෙනවා අඩක් ගෙනිච්චත් සියලුම දරුවන්ගෙන් මේ මාසික ගාස්තු අය කර ගැනීමට. ඒ වගේම අපිට රජයෙන් සහන ලබා දුන්නා ඒක සහනයක් නෙමෙයි හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ. ඒ ලබාගත් ණය වාරික අප්‍රේල් මාසේ ගෙවන්න වෙනවා . පාසල් ළමුන් ප්‍රවාහනයට පෙර සියලුම බස් රථ සහ වෑන් රථ විෂබීජහරණය කරන්න කියන එක ඇත්තටම අපිට විෂබීජහරණය සඳහා වූ ද්‍රව්‍ය ලබා ගැනීමේදී ලොකු ගැටලුවක් තිබෙනවා මොකද මේ මුදලුත් එක්ක.

    සිසුන් ප්‍රවාහනය සඳහා දැනට පවතින සැලැස්ම පිළිබඳව අදහස් දැක්වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා

    සිසුන් පමණක් ප්‍රවාහනය කිරීම සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා සැලැස්මක් අපි සකස් කරලා තිබෙනවා. කමිටුවක් පත් කරලා තියෙනවා කලාප අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ කමිටුවලට ලංගම රීජනල් මැනේජර්ලාව ඇටෑච් කරල තියෙනවා. ඒ වගේම පෞද්ගලික මගී ප්‍රවාහන අධිකාරියේ මේකට ඇටෑච් කරලා තියෙනවා ඒ අය මේ කමිටුවත් එක්ක වාඩි වෙනවා. එතකොට තියෙන බස් රථ සිසුසැරිය ප්‍රමාණය මදි නම් කලාප අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි ඩිපෝව අධිකාරීවරයාට රීජනල් මැනේජර්ගේ අනුමැතිය ඇතුව බස් රථ වැඩි කරන්න අපි අවසර දීල තියෙනවා.