පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිගම දී ඊයේ (20) අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් සියයකට අධික ප්‍රමාණය ඉතාලියේ සිට මෙරටට එවා ඇති බවට තොරතුරු හෙළිව තිබෙයි.
මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ හෙරොයින් තොගය කොළඹට රැගෙන ඒමට සූදානම් කර තිබීයදී අත්අඩංගුවට ගැණුනු අතර  හොරෙයින් මත්කුඩු තොගය සමග පුද්ගලයන් තිදෙනෙක් ඊයේ (20) වැලිගම, මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.


එම සැකකරුවන් සමග
මෝටර් රථයක් හා මත්කුඩු කිලෝ 100 පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව විශේෂ මෙහෙයුම් අංශය මගින් මෙම වැටලීම සිදුකර තිබුණි.
කොළඹ කොටිකාවත්ත ප්‍රදේශයේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්කුඩු තොගයක් මිලදී ගැනීම සඳහා වැලිගම, මෝදර ප්‍රදේශයට පුද්ගලයෙක් පැමිණ සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් එම ස්ථානය වටලා සිදුකළ පරික්ෂාවේදී මෝටර් රථය තුළ තිබී මත් කුඩු කිලෝ 25 ක් සොයාගැනීමට හැකි වී ඇත.
එම අවස්ථාවේදී එහි රැදී සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඒ අසන්නයේ ඉඩමක සඟවා තිබූ තවත් මත්කුඩු කිලෝ 75 සොයා ගැනීමට හැකි වී ඇත.
ඉතාලියට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්ගම විදුර නැමැත්තාට මෙම මත්කුඩු තොගය අයත් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.