බස්නාහිර පළාතේ සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටී පාසල් හැර දිවයිනේ සෙසු ප‍්‍රදේශවල පිහිටි පාසල් 5,100 ක පමණ 6 සිට 13 දක්වා වන ශ්‍රේණි සඳහා තුන්වන පාසල් වාරය ඊයේ (23) ආරම්භ වුවත් පැමිණ සිටි සිසුන් සංඛ්‍යාවේ අඩුවක් පැවති බව වාර්තා වේ. ඇතැම් පාසල්වල සිසුන්ගෙන් සියයට 50ක් පමණ පැමිණ සිටියත් සමහර පාසල්වල පැමිණ සිටියේ සියයට 5ක් පමණ ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් බව ද වාර්තා විය. පාසල් ආරම්භ කිරීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකෙරිණි.  ඇතැම් පාසල්වල ගුරුවරුන් පැමිණීමේ ද අඩුවක් ද වාර්තා වී ඇත. පාසලට පැමිණි ගුරුවරුන්,
දරුවන් සියලු දෙනාම පාහේ මුහුණු ආවරණ පැළඳ සිට ඇති අතර ඔවුන්ට අත් සේදීමේ පහසුකම් ආදිය ද සපයා දී තිබෙනු දක්නට ලැබිණි.


එමෙන්ම පාසලට ඇතුළුවන අවස්ථාවේ දී සියලු  දෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම ද සිදුවිය.  එසේ වුවත් ඇතැම් පාසල්වල මෙම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් ලෙස සලසා නොතිබූ බව ද වාර්තා විය. රජයේ පාසල්වල දෙවන වාර නිවාඩුව ඉකුත් ඔක්තෝබර් 9 වැන්දායින් ආරම්භ වූ අතර එය ඉකුත් 9 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි. රට තුළ මතු වූ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එය ඊයේ (23) දිනය තෙක් දීර්ඝ වූ අතර බස්නාහිර පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල හා හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් ආරම්භ වූයේ ඒ අනුවය. සෞඛ්‍යාරක්‍ෂිත පියවර අනුගමනය කරමින් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබිණි.


ඒ අනුව අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ (23) පාසල් ආරම්භ කෙරුණු බව අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. රට තුළ පවතින වාතාවරණය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් විවේචන එල්ල කළද, මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බව ද ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ (23) පාසල් ආරම්භ  කෙරුණු බව අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.


රට තුළ පවතින වාතාවරණය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් විවේචන එල්ල කළද, මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුන්ගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බව ද ලේකම්වරයා සඳහන් කළේය.  පාසල් ආරම්භ කළ දිනයේ පැමිණි සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ඇතත් ඉදිරි දිනවලදී දරුවන් සුපුරුදු පරිදි පාසල් වෙත පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු පැවසීය.  දුරස්ථභාවය ඇතුළු අනෙකුත්  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පැවැත්වීම ප්‍රායෝගිකව අසීරු නොවන බව කී ලේකම්වරයා ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන්
පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සඳහන් කළේය.


පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපාය අනුගමනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ  වනවිටත් ලබා දී තිබෙන බව ද මහාචාර්ය  කපිල පෙරේරා මහතා පැවසිය.  මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්  ස්ටාලින් මහතා පැවසුවේ රජය පාසල් ආරම්භ කිරීමට තීරණය කළ ද දෙමාපියන් තුළ විශ්වාසයක් ඇති නොවීම හේතුවෙන් දරුවන්ගේ පැමිණීමේ අඩුවක් සිදුවත්තට ඇති බවයි.  පාසල් විවෘත කරන්නේ නම් ඊට පෙර  දෙමාපියන් තුළ විශ්වාසයක් ඇති කරන ලෙස  වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටියේ ඒ  හේතුවෙන් බව ද ස්ටාලින් මහතා සඳහන්  කළේය.  


සාමාන්‍යයෙන් දරුවන් 5000 කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපන ලබන පාසල්වල ඊයේ (23) පැමිණ සිටියේ ළමයින් 100 ත් 50ත් අතර සංඛ්‍යාවක් බව ද ඔහු කීවේය. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ ගම්බදව පිහිටි පාසල්වල සියයට 50 ක පමණ සිsටි පැමිණිමක් සිදුවුවත් නගරබද ප්‍රධාන පාසල  පැමිණ සිටියේ සියයට 2ත් 3ත් අතර ප්‍රමාණයක් බවයි.  ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය සදහන් කළේ පාසල් සිසුන්ගේ පැමිණිම් යම් අඩුවක් දක්නට ලැබුණ ද, ගුරුවරුන්ගේ පැමිණීම සියයකට සියයක් වූ බවයි.


බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට පැමිණීමට නොහැකි වූ ගුරුවරුන් හැර, අනෙකුත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඊයේ (23) පාසල්වලට පැමිණි බව ඒ සම්බන්ධයෙන් තම සංගමය කළ සොයාබැලීමක දී හෙළි වූ බව ද ඇය කීවාය.  ඉදිරි දින කිහිපයේදී පාසලට දරුවන් පැමිණීම ද සාමාන්‍ය ආකාරයෙන් සිදුවනු ඇතැයි විශ්වාස කරන බව ඇය පැවසුවාය.


 -ඩයනා උදයංගනී-