මෙම සතිය මුලදී ෆයිසර් ආයතනය පවසා සිටියේ තෙවන අදියර අත්හදා බැලීම්හි අවසාන විශ්ලේෂණයේදී එහි කොවිඩ් -19 එන්නත 95% ක ඵලදායී බවක් පෙන්නුම් කරන බව සොයා ගත් බවයි.
 
ෆයිසර් සහ බයෝඑන්ටෙක් යන සමාගම් දෙකම ඒකාබද්ධව නිපදවා ඇති කෝවිඩ් එන්නත සඳහා එක්සත් ජනපද රජයෙන් හදිසි භාවිත අනුමැතිය ලබා ගැනීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටි අතර එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් පැවසා ඇත්තේ
ආහාර හා ඔෟෂධ පරිපාලනයෙන් සමාගම අද හදිසි භාවිත අවසරයක් ලබා ගන්නා බවයි. එමෙන්ම මෙහිදී අසාර් විසින් “බලාපොරොත්තුව සහ උපකාරය ලැබෙමින් තිබේ” (“Hope and help are on the way")යනුවෙන්ද පවසා ඇත.

මෙහිදී අනුමැතිය ලබා දීමට පෙර අයදුම්පත සහ සායනික අත්හදා බැලීමේ දත්ත ස්වාධීන විද්‍යාඥයින් මණ්ඩලයක් විසින් සමාලෝචනය කරනු ලැබේ.

ගෝලීය ඔෟෂධ නිෂ්පාදකයින් වන ෆයිසර් සහ බයෝඑන්ටෙක් පවසා ඇත්තේ  ඔවුන්ගේ COVID-19 එන්නත තුන්වන අදියර අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණයේ දී 95% ක ඵලදායී බව සොයා ගත් බවත් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් ද මෙම පරීක්ෂාවට ලක් වූ බවත් එබැවින් දින කිහිපයක් ඇතුළත නියාමකයින් විසින් එක්සත් ජනපදයෙන් හදිසි අවසරය සඳහා ඔනුන්ට ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති බවත්ය.

මීට අමතරව එක්සත් ජනපද සමාගමක් වන මෝඩර්නා ද සාර්ථක අත්හදා බැලීම් නිවේදනය කර තිබෙන අතර ඔවුන්ද ඉදිරි සතිවලදී තමන්ගේ එන්නත් හදිසි අනුමැතිය සඳහා ගොනු කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

පසුගිය වසරේ අගභාගයේදී චීනය තුළ වෛරසය ප්‍රථම වරට මතුවූ දා සිට ලොව පුරා මිලියන 1.3 කට අධික පිරිසක් ඉන් මියගොස් ඇත. එබැවින් මෙම වසංගත තත්ත්වය අවසන් කිරීමේ බලාපොරොත්තුවක් මෙම ද්විත්ව කඩඉම් මගින් ඇති කර තිබේ.

කෙසේවෙතත් හොඳ එන්නත් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා වෙමින් තිබුණ ද, ෆයිසර්හි ප්‍රධාන
විධායක ඇල්බට් බෝර්ලා පවසා ඇත්තේ සෑම කෙනෙකුම වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු පියවරයන් හා අවවාදයන් තවදුරටත් අනුගමනය කිරීම අතිශයින් වැදගත් වන බවත් ඒවා ලිහිල් නොකළ යුතු බවත්ය. ඔහු සිය ට්විටර් ගිණුමෙහි “It is the final stretch. I will be very careful with my family. Please follow religiously the instructions. Wear a mask, save lives." යනුවෙන්ද පවසා තිබීම විශේෂත්වයකි.

එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳව හා එන්නත් පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් ඇන්තනි ෆවුසිද බ්‍රහස්පතින්දා දින මෙම කොරෝනා මර්ධන එන්නත් දෙකෙහි ආරක්ෂාව පිළිබඳව අදහස් දක්වා තිබේ.

මෙම ක්‍රියාවලියෙහි වේගය එහි ආරක්ෂාවට කිසිඳු අනවශ්‍ය බලපෑමක් නොකළ බවත් විද්‍යාත්මක අඛණ්ඩතාවයට එය බාධාවක් නොවුණ බවත් මෙම එන්නත් වල විද්‍යාත්මක දියුණුව හේතුවෙන් විශාල කාර්යයන් රැසක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදා වූ බවත් ඔහු පවසා ඇත. කෙසේවෙතත් එන්නත දේශපාලනික ඉදිරිවාදයන් මත මෙහෙයවනු ඇතැයි යන බිය දුරු කිරීමටද ඔහු මෙහිදී උත්සාහදරා තිබේ.
 -(රිස්මි ඉෂාරා)