කුලියාපිටිය ඌරුපිටිය ප්‍රදේශයේ නිවෙසක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු පෙරේදා (14) එම නිවසේම මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උත්පල සංකල්ප ගුණසේකර මහතා පැවැසීය.  ඉකුත්ද කුලියාපිටිය අවදානම් කලාපයක් කරමින් කොවිඩ් පොකුරක් නිර්මාණය වූ ක්‍රිස්තියානි නිකායික පල්ලියක් හා මංගල උත්සවයක් හේතූවෙන් කුලියාපිටිය ඌරුපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ අතර,
මියගොස් ඇති තැනැත්තා අදාළ නියෝග කඩකරමින් අම්පාර ප්‍රදේශයට බුලත්  ප්‍රවාහනය කරමින් සිටියදී එම ප්‍රදේශයේ සෞඛ්‍ය පරික්ෂකවරුන් මගින් නිරෝධායනය කරවා කුලියාපිටිය ප්‍රදේශයට පැමිණි පසුව යළි නිරෝධායනයට ලක්කර සිටි අයෙකි.  

එමෙන්ම ඔහුට පනවා තිබූ ස්වයං නිරෝධායන කාල සීමාව අවසන්ව ඇත්තේ ද මියගොස් සිටි දිනයේ වීම විශේෂත්වයකි. එලෙස ඌරුපිටිය සහාපති වත්ත ප්‍රදේශයේ නිවෙසේදී මියගොස් තිබූ 57 හැවිරිදි පුද්ගලයා විසූ නිවෙසේ නිවැසියන්ට ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා උපදෙස් දුන්නේ නිවෙසට බැහැරින් පැමිණ තිබූ අය හා නිවෙසේ දිවි ගෙවූවන් නිසි සමාජ දුරස්ථභාවය

පවත්වාගෙන සිටින ලෙසටයි. කෙසේ වෙතත් මෘත දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු කළ අතර පී.සී.ආර්. පරික්ෂාවට යොමු කර එහි ප්‍රතිඵල අනුව දේහය පිළිබඳව ඉදිරි කටයුතු කිරිමට සිදුවන බව ද එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා උපදෙස් දී තිබිණි. කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උත්පල සංකල්ප, වසම භාර මහජන සෞඛ්‍ය පරික්ෂක කුෂාන් ශාලික හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන ලක්ෂ්මන් චමල් යන මහත්වරු පොලිසියේ උපපොලිස් පරික්ෂක දිසානායක මහතා සමගින් දේහය රෝහලට රැගෙන යාමේ කටයුතු සිදු කළහ.
 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-