බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන්  නැමැත්තාගේ සිරකුටිය පරික්ෂා කිරීමට ගිය ජේලර්වරයකුට බැණ
තර්ජනය කිරිමේ සිද්ධියක් පිළිබඳව එම ජේලර්වරයා පොලිසියට පැමිණිලි කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.  මෙහිදී එම සැකකරු ජේලර්වරයාට “හැමදාම වහිනෙත් නැහැ. හැමදාම පායන්නෙත් නැහැ. හැමදාම ඇතුළේ ඉන්නෙත් නැහැ. හැමදාම එළියේ ඉන්නෙත් නැහැ යනුවෙන් බැණ තර්ජනය කළ බවට එම ජේලර්වරයා පොලිසියට පැමිණිලි කර ඇති බවද පැවසේ.


මෙම සිරකුටි පරික්ෂාවේදී සැකකරු භාරයේ තිබී ඇති ක්‍රීඩා පාවහන් යුගලක්, ඇඳුම් පැළඳුම් තොගයක් හා පත්තර කීපයක් නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බවද දැනගන්නට තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් මෙහිදී විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටි ගණනාවක් පරික්ෂා කර ඇතැයි වාර්තාවේ.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පැමිණවීමට නියමිත බවද සඳහන් වේ.