බණ්ඩාරගම ගම්මන්පිල ප‍්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු එම උත්සවයට සහභාගි වූ පවුල් හයක් නිරෝධායනයට ලක්කිරීමට ඊයේ (10) පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවැසුවාය.


මීට දින 10කට පමණ පෙර දී මංගල උත්සවය පවත්වා ඇති අතර ඒ සඳහා පුද්ගලයන් 40ත් 50ත් අතර ප්‍රමාණයක් සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෛද්‍යවරිය පැවැසුවාය.

මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි මනාල මහතාගේ සහෝදරයකු මංගල උත්සවයට සහභාගි වී ඇති අතර එයින් දින කිහිපයකට පසු කොරෝනා රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් ඔහු පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර තිබූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

එම පුද්ගලයා ආසාදිතයකු බවට පෙරේදා (9) වෛද්‍ය වාර්තාව මගින් අනාවරණය වීමෙන් අනතුරුව ආ ගිය තැන් පිළිබඳව විමසීමේදී මේ බවට අනාවරණය වී ඇතැයි එම ප්‍රකාශකයා කීය.

මංගල උත්සවයට සහභාගි වූ අවට නිවාස කිහිපයක සංමාජිකයන් එම නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බවත් තවදුරටත් සොයා බලා පිටස්තර ප්‍රදේශවල අය වෙතොත් ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කිරීමට පියවර ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මනාලිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඒ සම්බන්ධයෙන් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද දැනුවත් කිරීමට පියවර ගත් බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවැසුවාය.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)