උසස් අධ්‍යාපනය ලබන සිසුවියකගේ ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූපවලට බද්ධකොට ඇය අධ්‍යාපනය ලබන උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුවරුන්ට දුරකථන මාර්ගයෙන් යැවූ බව කියන තරුණයෙකු දඹුල්ල පොලිසිය මගින් පෙරේදා (25දා) අත්අඩංගුවට ගෙන තිබේ.මහියංගණය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව දඹුල්ල පොලීසිය පවසයි.

මීට දින කිහිපයකට ඉහතදී දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වයස අවුරුදු 20ක දඹුල්ල ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුවියක පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබිණි.

එහි සඳහන්ව ඇත්තේ එම විද්‍යාලයේම ඉගෙනුම ලබන මිතුරියක තරුණයකු සමග සබඳකමක් පවත්වා ඇති බවත් පසුව මෙම තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධතාව නවතා දැමීමත් සමග ඔහුගේ දුරකථන අංකයද මෙම මිතුරිය විසන්ධි කර දමා තිබුණු බවත් ඇය සිදුකරන ලද පැමිණිල්ලේ සදහන් බව පොලීසිය පවසයි.


පසුව පැමිණිලිකාර සිසුවියට සැකකාර තරුණයා ඇමතුම් කිහිපයක් ලබා ගෙන අවස්ථා කිහිපයකදීම තම මිතුරිය සම්බන්ධ කර දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ තරුණයා තමන්ගේ ෆේස්බුක්හි ඇති ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූපවලට සම්බන්ධකොට මුහුණුපොතට දමන බවට තර්ජනය කළේයැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

පසුව තමන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූපවලට බද්ධ කොට ඉගෙනුම ලබන උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුවරියකට දුරකථනයෙන් එවා ඇතැයි ඇය පොලීසියට පැමිණිලි කොට තිබිණි.

එහෙත් මෙම තරුණයා පදිංචි කොහේදැයි සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් මෙම තරුණයාගේ දුරකථනය විසන්ධි කර තැබීම නිසා ඔහු සොයා ගැනීමට පොලීසියට අසීරුවී තිබේ.

පසුව මූලස්ථාන පොලිස් පරික්ෂක එස්. පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූ ගයන්ති මහත්මිය ඇතුළු කණ්ඩායමක් මෙම තරුණයා ප්‍රේම සම්බන්ධතා පැවැත් වූ පැමිණිලිකාරියගේ මිතුරිය පොලිසියට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.


එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ ඇය මෙම තරුණයා සමග මිතුරුකම් පවත්වද්දී දඹුල්ල ප්‍රදේශයේ ලැගුම් හලකට ගිය බවත් එම ලැගුම්හල් පොතකට මෙම තරුණයාගේ ජාතික හැදුනුම්පත් අංකය ලිපිනය සටහන් තැබූ බව ඇය පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ලැගුම්හල් පොත පරික්ෂා කොට මෙම තරුණයා මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන පසුව එම නිවසට දැනුම් දී කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙම තරුණයා පොලිසියට කැඳවා ගත හැකිවූ බවද පොලිසිය පවසයි.

සැකකාර තරුණයා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලුකා ගයන්ති, උප පොලිස් පරික්ෂක ප්‍රියානි යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වති.

- එස්.කරුණාරත්න -