නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද සම්බන්ධ බැංකු ගිණුම් දෙකකට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 4,000 කට ආසන්න  මුදලක් පිට රටවලින් ලැබී තිබෙන බවට පාස්කු ඉරුදින ත‍්‍රස්ත  ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ඉදිරිපත් විය. මෙසේ තොරතුරු ඉදිරිපත් වූයේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ හිටපු කළමනාකාරිණ
අයි.සි.කේ. කන්නන්ගර මහත්මිය කොමිසම හමුවේ දුන් සාක්ෂි අනුවය. ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ මෙම ගිණුම් දෙක ආරම්භ කර ඇති බවද එයින් එක් ගිණුමක් ශ්‍රී ලංකා හිරා පදනම නමින්ද අනෙක් ගිණුම බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් යන නමින්ද ආරම්භ කර ඇති බවද ඒ ගිණුම් දෙකෙහීම බලයලත් පුද්ගලයන්ගේ නම් අතර හීස්බුල්ල මහතාගේ නම පවතින බවද එම සාක්ෂි වලින් කියැවිණි.


ශ්‍රී ලංකා හිරා පදනම අවස්ථා 15කදී රුපියල් මිලියන 313.1ක් පමණ පිටරටවලින් ලැබි ඇති අතර ඒවා ලබාදී තිබෙන්නේ සවුදි අරාබියේ අලි අබ්දුල්ලා අල් ජුපාලි භාරයන්, මහා බ්‍රිතාන්‍යයේ සිද්ධික් සහ ඩයනා ඔස්මන්ඩ් යන අයගෙන් සහ ක්‍රිඩෙන්ෂන් ලිමිටඩ් යන ආයතනවලින් බවද සාක්ෂි ඉදිරිපත් විය.  බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් පුද්ගලික සමාගම නමින් ආරම්භ කළ ගිණුමට 2016 සහ 2017 අතර කාලය තුළ අවස්ථා හයකදී සවුදි අරාබියේ අල් අබ්දුල්ලා අලි ජුෆෝලි භාරයෙන් රුපියල් මිලියන 3,640ක් පමණ බැර වී තිබෙන  බවටද සාක්ෂි ඉදිරිපත් විය. පිට රටකින් මෙරට බැංකු ගිණුමකට රුපියල්  මිලියනයකට වැඩි මුදලක් බැර වන්නේ නම් හෝ එම ගිණුම්වලින් එකවර රුපියල් මිලියනයකට  වැඩි මුදලක් ලබාගන්නේ නම් හෝ ඒ පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත් කළ යුතු බවට වන රෙගුලාසියක් තිබියදීත් එම පියවර ගැනීමට ලංකා බැංකුව කටයුතු කර නැති බවද කළමනාකාරවරිය  මෙහිදී සාක්ෂි දෙමින් පැවසුවාය.


“අපේ බැංකුවෙන් ඒ ගැන ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පවතින අනුකූලතා අංශයට දැනුම් දුන්නා. ඒ වගේම ඔවුන්ටත් එම ගිණුමෙන්  ගනුදෙනු වන ආකාරය ගැන කෙටි පණිවුඩ  ලැබෙනවා. එහෙත් ඔවුන් තීරණය කර තිබුණා  එම ගිණුම්වලින් සිදුවන ගනුදෙනුවල සැකකටයුතු යමක් නැති බව”යැයිද හිටපු කළමනාකාරිණි 
කන්නන්ගර මහත්මිය පැවසුවාය. හිස්බුල්ලා මහතාට අයත් ශ්‍රී ලංකා හීරා පදනම සහ බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගමට අයත් බැංකු ගිණුම් පහක් පමණ අදාළ බැංකු ශාඛාවේ ක්‍රියාත්මක වී තිබෙන බවද සාක්ෂිකාරිය කොමිසම හමුවේ පැවසුවාය.  ශ්‍රී ලංකා හිරා පදනම නම් සංවිධානයට අයත් බැංකු ගිණුමේ ගනුදෙනු මෙහෙයවීම සඳහා බලයලත් පුද්ගලයින් ලෙස හිස්බුල්ලා, අබ්දුල් කාදර් මොහොමඩ් සම්සුදීන් සහ අහමඩ් ෆලීල්  මොහොමඩ් යන අය නම් කර තිබූ බව ඇය සඳහන් කළාය.


මේ අතර එම බැංකු ගිණුම විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකා හීරා පදනම සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කළ සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද යන්න රජයේ නීතිඥවරිය සාක්ෂිකාරියගෙන් විමසූ අවස්ථාවේ ඇය සඳහන් කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ අදාළ සංවිධානය ලියාපදිංචි කරන ලද සහතිකයක් ඉදිරිපත් කර ඇති බවය. එය ඉදිරිපත් කර තිබෙන්නේ බැංකු ගිණුම විවෘත කර මාසයක් වැනි කාලයකට පසුව බව කොමිසම වීමසූ අවස්ථාවේ සාක්ෂිකාරියෙ පැවසුයේ ශ්‍රී ලංකා හිරා පදනම ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ ලියකියවිලි ඉදිරිපත් කළ නිසා එම ගිණුම විවෘත කරක්නට ඇති බවයි. එම ගිණුම 1993දී විවෘත කර ඇති අතර එකල තමන් එම ශාඛාවේ සේය නොකළ බවද ඇය කීවාය.


සවුදි අරාබියෙන් ලැබුණු මුදල් අමෙරිකා එක්සත් ජනපදයේ බැංකුවක් හරහාත්, සිද්ධියක් සහ ඩයනා ඔස්මන්ඩ් යන අයගෙන් ලැබුණු මුදල් මෙරට ද ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක් හරහාත්, ක්‍රිඩෙන්ෂල් ලිමිටඩ් යන ආයතනයෙන් ලැබුණු මුදල් මහා බ්‍රිතාන්‍යයේ බැංකුවක් හරහාත් එම ගිණුමට බැර වී තිබෙන බවද හිටපු  කළමනාකාරිණී කන්නන්ගර මහත්මිය පැවසුවාය.  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ගිණුම හරහා සිදු වී ඇති ගනුදෙනු පිළිබඳව මහ බැංකුව දැනුවත් කිරිමට පියවර ගත් බවද ඇය සඳහන් කළාය. අදාළ මුදල් ලැබී  ඇත්තේ ණය මුදලක් ලෙස යැයි දැවෙන යම් ලේඛනයක් තිබේ දැයි කොමිසම විමසා සිටි අවස්ථාවේ ඇය සඳහන් කළේ එවැනි ලේඛනයක් නොමැති බවය.  


බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් පෞද්ගලික සමාගම නමින් 2016 වසරේ ජනවාරි 14 දින තවත් ගිණුමක් විවෘත කර ඇති බවද එම ගිණුමේ ගනුදෙනු මෙහෙයවීම සඳහා බලයලත් පුද්ගලයින් ලෙස හිස්බුල්ලා මහතා සහ අහමඩ් ශිරාස් හිස්බුල්ලා යන අය නම් කර තිබූ බවද ඇය කීවාය.  “මෙම ගිණුම විවෘත කළේ බැටික්ලෝ කැම්පස් නම් විශ්වවිද්‍යාලය ඉදිකරන්න. ඒ අනුව අපිට දැනගන්නට ලැබුණා මඩකලපුව ප්‍රදේශයේ අදාළ ඉඩම් අත්පත් කරගෙන විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා කියලා. එම නිසා අදාළ මුදල් ඒ සඳහා යොදවනවා ඇති කියලා අපි නිගමනය කළා. ඒ නිසා එම ගිණුම සැකකටයුතු ගිණුමක් නොවන බවට තීරණය කළා.  එහෙත් එම තීරණය සම්බන්ධයෙන් යම්කිසි  ලේඛනයක් ඉදිරිපත් කිරිමට නොහැකි බව කොමිසම කළ විමසීමේදී සාක්ෂිකාරිය පැවසුවාය.

 -මුදිතා දයානන්ද-