දිවයිනේ පොලිස් ස්ථාන 75ක පොලිස් නිලධාරින් 1039 දෙනකුට මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් නිලධාරින් 80 දෙනකු කොරෝනා වයිරසය ආසාදිත බවට ඊයේ තහවුරු වීමත් සමග පොලිස් පොකුර මෙසේ 1000 සීමාව ඉක්මවා ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි. ඊයේ (23) පෙරවරුවේදී හඳුනාගත් පොලිස් නිලධාරින් 80 දෙනාට කොටුව පොලීසියේ නිලධාරින් 20ක්,
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 14ක්, ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරින් 13ක්, කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරින් 07ක්, පරිසර කොට්ඨාසයේ නිලධාරින් 07ක්, ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරින් 05ක්, බ්ලූමැන්ඩල් පොලීසියේ නිලධාරින් 05ක්, වේල්ලවීදිය පොලීසියේ 02ක්, පිටකොටුව පොලීසියේ නිලධාරින් 02ක් සහ ඇමැති ආරක්ෂක කොට්ඨාසය, ආදුරුප්පුවීදිය, ගොඩනැගිලි කොට්ඨාසය සහ තුර්යවාදක ක්ෂේත්‍ර බළකා මූලස්ථානය යන ස්ථානවලින් එක් ආසාදිතයකු බැගින් ද අයත් වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 238ක්, කොටුව පොලිසියේ නිලධාරින් 160ක්, බොරැල්ල පොලීසියේ නිලධාරින් 107ක්, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් 68ක්, කෙසෙල්වත්ත පොලීසියේ 59ක්, ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරින් 39ක්, මරදාන පොලීසියේ නිලධාරින් 23ක්, පිටකොටුව පොලිසියේ නිලධාරින් 20ක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 15ක්, පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරින් 12ක්, පේරාදෙණිය පොලීසියේ නිලධාරින් 08ක්, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින් 08ක් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් 1039ක් කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

කොරෝනා වයිරසය ආසාදිත පොලිස් නිලධාරින් 1039 දෙනා අතුරින් 454 දෙනකු මේ වනවිට සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් නිලධාරින් 585 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.