මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමේදී ඇතිවූ අසනීප තත්වයක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිදු කළ පීසීආර් පරීක්ෂණයකදී නැගී එන ජනප්‍රිය ටෙලි නළුවෙකු කොරෝනා සඳහා ධනාත්මකවූ බව වාර්තා විය.
සිය රෝගී තත්වය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට පුද්ගලිකව දක්වා තිබෙන අකමැත්තට ගරු කරමින් ඔහුගේ නම හෙළී නොකිරීමට මාධ්‍ය වග බලාගෙන තිබෙන නමුත් ඔහු පිළිබඳ ඉඟි කිහිපයක්ම ප්‍රකටව තිබේ.
මෙම නළුවා දේශපාලනයට කලක් සමීපව සම්බන්ධවී පසුව ඈත්වූ
ප්‍රකට සිනමා නළුවෙකුගේ පුතෙකු වන අතරම ඔහුගේ සොයුරු සොයුරියන්ද කලාවට සම්බන්ධිතය.

ඔහු මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනක් මෙහෙයවන්නෙකුද වේ.  ඔහුගේ රෝගී තත්වය මතුවන අවස්ථාවේ මහනුවර ප්‍රදේශයේ රූගත කරමින් පැවතියේ ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාටකයකි. එහි ප්‍රධාන නළුවා ලෙස ඔහු රඟපාමින් සිටී.


රෝගී තත්වය මතුවීමෙන් පසු ස්වර්ණවාහිනියේ ඔහුගේ වැඩසටහනට 'නොවැළැක්විය හැකි හේතුවක්' නිසා ඔහු පැමිණ නැත' යනුවෙන් සටහනක් තබන ලදි.
අදාළ නළුවා කොරෝනා පරීක්ෂණයේදී ආසාදිත යැයි හෙළි වීමෙන් පසුව රූගත කිරීමට සහභාගි වූ තෙල්දෙණිය ප්‍රදේශයේ හෝටලයට පැමිණි කණ්ඩායම සහ හෝටලයේ සේවකයන්ද නිරෝධානයට යොමු කර තිබේ.
නිරෝධායනයට යොමු කර ඇත්තේ ඔහු සමග සිටි රංගන ශිල්පීන් ඇතුළු 21 දෙනකු බවද වාර්තාවේ. ඔවුන් මේ වනවිට
 එම හෝටලය තුළම නිරෝධායනයට ලක්කර ඇත.

 හෝටලයේ කාර්ය මණ්ඩලයේ පස් දෙනකුද මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.
පෞද්ගලික රෝහලෙන් පී.සී. ආර්. පරික්ෂණය ධනාත්මකවූ පසුව සෞඛ්‍ය බලධාරීන් රංගන ශිල්පියාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බව ආරංචි මාර්ග පවසයි. පසුගිය 20 වන සිකුරාදා මෙම රෝග තත්වය හඳුනාගෙන ඇති අතර ඔහුට රෝගය බෝවුනේ කවර පොකුරකින්ද යන්න තවම නිශ්චය කරගෙන නැත.