කොවිඩ් වයිරසය ආසාදිත වී ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටි පාර්ලිමේන්තු පොලිසියේ උපපොලිස් පරික්ෂකවරයාගේ ශරිරයේ තවමත් එම වයිරසය පවතින බව පසුගියදා සිඳුකළ පී.සී.ආර්. පරික්ෂණයකින්  හෙළි වී තිබේ. මෙම උපපොලිස් පරික්ෂකවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව ඉකුත්  ඔක්තෝබර් 24 වැනිදා හෙළිවීමත් පසු  සුවය ලබා නිවසට පැමිණ තවත් දින 14ක් 
පමණ නිරෝධායනය වී යළිත් සේවයට වාර්තා කිරීමට පෙර ඔහු ස්ව  කැමැත්තෙන්ම පී.සී.ආර්. පරීක්ෂණයක්  කරවාගෙන ඇති අතර ඊයේ (22) ලැබුණු එහි ප්‍රතිඵලය අනුව ඔහුගේ ශරීරයේ තවමත් එම වයිසරය පවතින බව තහවුරු විණැයි මතුගම පරිපාලන සෞඛ්‍ය පරික්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.

වැලිපැන්න ලෙව්වන්දුව උඩුමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම උපපොලිස් පරික්ෂකවරයා පසුගිය ඔක්තෝබර් මාසයේ නිවාඩු ලබා නිවසට පැමිණීමට පෙර  ඔරුගොඩවත්ත මාළු වෙළෙඳපොළට ගොස් ඇති අතර එම මාළු වෙළඳපොළට ගිය පිරිසට පී.සී.ආර්. පරීක්ෂණ කරගන්නා ලෙස මාධ්‍ය මගින් දැනුම් දීමෙන් අනතුරුව ඔහු මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයට සහභාගි වී ඇත.  එම වාර්තා අනුව කොරෝනා ආසාදිත වූ බවට වාර්තාවීමෙන් අනතුරුව ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා පැමිණ නිවසේ නිරෝධායනය වීමෙන් අනතුරුව යළි රාජකාරියට යාමට පෙර මෙම පී.සී. ආර්. පරික්ෂණයට පෙනී සිට ඇත.

කොරෝනා ආසාදිතයෙකු සුවය ලැබුවත්  ශරීරයේ එම වයිරස් කොටස් තිබිය හැකිය බවත් එම වයිරස් කොටස්වලට රෝගය බෝ කිරීමේ හැකියාවක් නොමැති බවත් එම පොලිස් නිලධාරියා කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පිහිටි නිරෝධායන කඳවුරට ඇතුළත් කළ බවත් මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.

-බන්දු තඹවිට-