අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ඊයේ (23දා) දිනය වන විට කෝවිඩ් 19 ආසාදිතයන් පස්දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග අකුරණ කොට්ඨාසයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක සේවයේ නියුක්තව සිටි පුද්ගලයන් 12 දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන්
පසුව ඔවුන්ගේ ඥාතීන් ස්වයං නිරෝධායනයට ලක් කළ අතර, ඔවුන්ගෙන් සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණ අනුව 12 දෙනෙකු ආසාදිතයන් බවට පසුගිය 19වනදා හඳුනාගනු ලැබ තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් කරනු ලැබූ පී.සීආර්. පරික්ෂණ අනුව පසුගිය සිකුරාදා තවත් අටදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේද ආශ්‍රිතයන් අතුරින් අහඹු ලෙස කරනු ලැබූ පී.සීආර්. පරික්ෂණවලින් තවත් පස්දෙනෙකු ආසාදිත බවට ඊයේ (23දා) හඳුනාගෙන තිබේ.

මේ අනුව අකුරණ කොට්ඨාසයේ බුළුගහතැන්න, කුරුගොඩ, මල්වානහින්න නීරැල්ල, මේල්චේන පලේවැලිකැටිය සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලින් මෙම ආසාදිතයන් හමුවී ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලුදෙනාද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. කෙසේ නමුත් අකුරණ කොට්ඨාසයෙන් දිනෙන් දින වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් කොට්ඨාසයේ අවදානම් බවක් පෙන්නුම් කෙරෙන බවද සෞඛ්‍ය අංශ කියයි.
- මොහොමඩ් ආසික් -