ඒ.ටී.එම්. යන්ත්‍ර සහ මූල්‍ය ආයතන, සුපිරි වෙලදසල් හා රේස් පොළ ආදී ආයතනවල සේප්පු කඩා රුපියල් ලක්ෂ අසූවකට අධික වටිනා මුදල් ඇතුළු දේපළ සොරාගත් බව කියන දෙදෙනකු ඒ සඳහා භාවිතා කළ ත්‍රිරෝද රථයක්ද සමග ගල්කිස්ස  කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 

මොවුන් ගල්කිස්ස, පානදුර, මොරටුව, පිළියන්දල, බොරලැස්ගමුව හා පානදුර ප්‍රදේශවල ඒ.ටී.එම්. යන්ත්‍ර හා සුපිරි වෙළෙඳසල්වල සේප්පු කඩා මෙසේ මුදල් සොරකම් කර ඇතැයි හෙළිවී තිබේ. සැකකරුවන් පිලියන්දල, පානදුර පදිංචි  අවුරුදු 31 හා 37 වයසේ පසුවන්නන් බවත් මොවුහු අධික ලෙස රේස්බයි – මුදල් ඔට්ටු සඳහා ඇබ්බැහිවී සිටින අයද වන බවත් පොලීසිය කියයි .


මෙම පුද්ගලයින් මාස 6 කට වැඩි කාලසීමාවක් ඇතුළත මෙලෙස මුදල් කොල්කෑම් සදහා යොමුවී ඇති බවත් ඉකුත් 16 වන දිනය අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබාගත් දින 7 ක රඳවා තබා ගැනීමේ නියෝග මත සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇති අයුරු එකී මූල්‍ය ආයතනවල මුදල් සේප්පු පිටින් උස්සාගෙන ගොස් වෑල්ඩින් යන්ත්‍ර උපයෝගි කරගන කපා මුදල් ඉවත් කරගෙන ඇති බවත් පොලීසිය කියයි. ඒ අතර ඩී.වී.ඩී යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, සී.සී.ටී.වී. කැමරා දත්ත රෙකෝඩර්, සෙල්ලම් පිස්තෝලයක්, මිටි, ඉස්කුරුප්පු නියන් ඇතුලු දේපළ සොරාගෙන ඇති බවත් හෙළිවී ඇත.


 -ශ්‍රීනාත් ජයසූරිය-