කොවිඩ් වයිරසය ආසාදනය වුවන් 30,000කට අධික පිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පැවැසීය. නගරයේ අහඹු ලෙස තෝරාගත් 300 දෙනකුගේ
පී.සි.ආර්. පරික්‍ෂණ ඉකුත් දා සිදුකළ අතර සියයට පහකට කොවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බවත් කොළඹ නගරයේ සිටින ලක්‍ෂ හයක ජනතාවගෙන් සියයට පහක් පමණ ඒ අනුව ආසාදිතයන් යැයි සැක කරන බවත් වෛද්‍ය විජයමුණි මහතා කළ විමසීමක දී කීය.


ආසාදිතයන් අතරින් සියයට අසූවක් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන්  රෝග වහාකයක් වන බව කී ඔහු රෝග ලක්‍ෂණ  පෙන්වන්නේ ආසාදිතයන් අතරින් සියයට පහක් පමණක් බව සඳහන් කළේය. මෙම රෝග ලක්‍ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්වයට පත්ව මියයන්නේ සියයට දශම හතරක් පමණක් බව පෙන්වා දුන් විජයමුණි මහතා මේ තත්වය යටතේ කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වා රෝගය ඕනෑම අයකුගේ සිරුරේ තිබිය හැකි බැවින් කොළඹ නගරයේ ගැවැසෙන ජනතාව විශේෂයෙන් ආරක්‍ෂා විය යුතු බව කීවේය.

මේ වනවිට හමුවන රෝගීන් පිළිබඳ පවතින තත්වය සාගරයේ පවතින අයිස් කන්දක මුදුනත වැනි යැයි ද එහී පෙනෙන ප්‍රමාණය මෙන් අතිවිශාල ප්‍රමාණයක් නොපෙනෙන බව අමතක කළ යුතු නැතැයි ද වෛද්‍ය විජයමුණි මහතා සඳහන් කළේය

 -විනීතා එම්. ගමගේ -