කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ රෝගීන් 50 දෙනකු පමණ මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්
හඳුනාගෙන ඇති බවත්, ඉන් 40 දෙනකු පමණ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් හමු වී ඇති බව නුවරඑළිය
දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බැව්
පැවැසීය.


මෙම 14 දිනට යෙදෙන දීපවාලි උත්සව දිනයේ සැණකෙළි නොපවත්වා සංචරණය නොකරමින් නිවෙසේ සිටම
දීපවාලි උත්සවය සමරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා වතුකරයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ,“නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදනය වූ රෝගීන් 50ක් පමණ වාර්තා වෙනවා. 40ක් පමණ වතුකරයෙනුයි වාර්තා වෙන්නේ.

වතුකරයේ කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරිලා යන තත්ත්වයක් තිබෙනවා. වතුකරයේ ජනතාවගේ නිවාස පිහිටලා
තියෙන විදිහ සහ ජන ජීවිතය අනුව වයිරසය ශීඝ්‍රයෙන් පැතිරිලා යන්න ඉඩකඩක් තියෙනවා.

ලයින් නිවාසයක විශාල පිරිසක් ජීවත් වෙනවා. එක ගොඩනැඟිල්ලක විශාල පවුල් සංඛ්‍යාවක් තියෙනවා.
බොහෝවිට පොදු වැසිකිළි පද්ධතියක් තමයි තියෙන්නේ.

දීපවාලි උත්සවය හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක්. සාමාන්‍ය තත්ත්වය යටතේ හින්දු ජනතාව
මෙම උත්සවය සැණකෙළි ස්වභාවයෙන් තමයි සමරන්නේ. වයිරස් අවදානම සමඟ එසේ සැණකෙළි
පැවැත්වුවොත් වයිරසය පැතිර යෑමේ දැඩි අවදානමක් තියෙනවා.

අපි හින්දු ජනතාවගෙන් ඉල්ලන්නේ මේක ආගමික උත්සවයක් ලෙස සලකා නිවෙසේ සිටම ආගමික වතාවන් කරන ලෙසයි.

හින්දු කෝවිල්වල කුරුක්කල්වරුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ආගමික වතාවන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරගෙන කරන්න කියලා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා කරන වතුකරයේ තරුණ තරුණියන්ගෙන් අපි ඉල්ලන්නේ ඒ ඒ ප්‍රදේශවල

ඉන්න තැනම ඉන්න. වතුකරයට පැමිණීම අවම කරන්න කියලා. සමහරවිට ඔබ දීපවාලි සමරන්න එද්දී
වයිරසයත් අරගෙන එන්න පුළුවන්. එවිට ඔබේ පවුලේ සැමට ආසාදනය වෙන්න පුළුවන්. ඔබ වතුකරයේ
නිවාසවලට පැමිණෙනවා නම් සංචරණය සීමා කරන්න. වතුකරය පුරා ඇවිදින්නේ නැතුව ගෙදර අය සමඟ
ආගමික වතාවන් සිදුකරලා ආපසු යන්න. වතුකරයේ ජනතාව වයිරසයෙන් බේරාගැනීම සඳහා තමයි අප මේ
ඉල්ලීමක් කරන්නේ.

අපි හිතනවා මේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා රෝගය පැතිරීම වැළැක්වීමට කටයුතු කරයි කියලා. එසේම
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සුරාසල් වසා දමන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් සුරාසල්
වසනවාද නැද්ද යන්න අපි දන්නේ නෑ. ඒත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා” යනුවෙන් පැවැසීය.


නෝර්වුඩ් _ නීටා පත්ම කුමාරි, නුවරඑළිය - චන්ද්‍රසිරි මහගම