දුම්මලසූරිය පොලිස් බලප්‍රදේශයට අයත් මීගහපැලැස්ස ප්‍රදේශයේ මහමඟ චණ්ඩි පාට් දැමූ සුරේෂ් ළහිරු
නොහොත් යකා කල්ලියේ තුන් දෙනකු දුම්මලසූරිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මීගහපැලැස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 30ක පුද්ගලයකු මහ මාර්ගයේ යන අවස්ථාවේ මඟ රැක සිටි
යකා කල්ලිය නමින් හදුන්වන පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පුද්ගලයාට පහරදී ඇත්තේ කඩුවකින් හා
අතින් පයින්ය. තුවාල ලැබූ පුද්ගලයා
දුනකදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර
සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

දුම්මලසූරිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගිහාන් මනෝහර මහතා පැවසුවේ මීගහපැලැස්ස ජය
ශ්‍රී සාද නිකේතනය අතර  මෙම පුද්ගලයන් පස්දෙනා එම සාද නිකේතනයෙහි පාටියක් දමා අධික ලෙස
මත්පැන් පානය කර මාර්ගයේ ගමන්කර ඇති පුද්ගලයකුට බැන වැදී අතින් පයින් හා කඩුවකින් පහරදී තුවාල
සිදුකර ඇති අතර 2020.11.09 දින මෙම පුද්ගලයන් පස්දෙනා මෙම පහරදීම සිදුකර ඇත. අධික ලෙස
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පස්දෙනකු විසින් යකා කල්ලිය නමින් පවසා මෙම පුද්ගලයාට පහරදී තිබේ.
මීට පෙරත් මහමඟ ගමන් කළ පුද්ගලයන්ට පහරදෙන බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර පොලිසිය
ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී මොවුන් පොලිසිය මඟහැර තිබේ.

 09 වැනි දින සිද්ධියෙන් ජය ශ්‍රී සාද නිකේතනයේ සවිකර තිබූ කැමරා දර්ශන පරීක්‍ෂා කර තුන්
දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින අතර ඔවුන් මේ
වන විටත් ප්‍රදේශයෙන් පලාගොස් ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා අද දින කුලියාපිටිය
මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දුම්මලසූරිය පොලිස්
ස්ථානාධිපති අතුල ගමගේ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ගිහාන් මනෝහර මහතා
සහ බුද්ධි අංශ නිලධාරීන් මෙයට එක් වී තිබේ.

දුම්මලසූරිය - දිනෙත් කුමාර